gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඖෂධ හිගයි.. ශල්‍යකර්ම පෝලිම්... ICU මදි... සෞඛ්‍ය ලොකු අර්බුදයක!

පිළිකා සහ වකුගඩු රෝගීන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ හිඟය ඇතුළු මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙලාගෙන ඇති අර්බුද රැසක් හේතුවෙන් නිදහස් සෞඛ්‍ය සේවාව මේ වන විට බරපතළ අනතුරකට ලක්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.

 කොළඹ නිපන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව සඳහන් කළේය. ස්වාධීන වෘත්තීය සංවිධාන එකමුතුව විසින් මෙම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දුන්නේ වර්තමාන රජය යටතේ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බවයි. පවතින ගැටලුවලට නිසි විසඳුම් ලබා දෙනු වෙනුවට, සෞඛ්‍ය සේවය ක්‍රමිකව පෞද්ගලීකරණය කිරීමටත්, ඉන්දියානු බලපෑම්වලට නතු කිරීමටත් රජය කටයුතු කරමින් සිටින බවට ඔහු චෝදනා කළේය.

සෞඛ්‍ය පද්ධතිය තුළ මේ වන විට හඳුනාගෙන ඇති ප්‍රධාන අර්බුද 20ක් සම්බන්ධයෙන් වෛද්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය. 

ඖෂධ හා රසායනාගාර අර්බුදය: පිළිකා හා වකුගඩු රෝග සඳහා වන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ හිඟය, බාහිර ෆාමසිවල ඖෂධ මිල ඉහළ යාම සහ රජයේ රෝහල්වල රසායනාගාර සේවා බිඳවැටීම.
පරීක්ෂණ සේවා අඩපණ වීම: CT, MRI, Angiogram සහ විකිරණ ප්‍රතිකාර (Radiotherapy) සේවා අඩාල වීම.

ප්‍රමිතියෙන් තොර ඖෂධ: ඖෂධ නියාමනය බිඳවැටීම හේතුවෙන් බාල ඖෂධ මෙරටට ගලා ඒම සහ ඉන්දියානු සමාගම්වලට අනිසි ලෙස අවස්ථා ලබා දීම.

මානව සම්පත් හිඟය: විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් රට හැර යාම සහ පුරප්පාඩු පිරවීමට රජය ප්‍රමාද කිරීම.

පරිපාලන දුර්වලතා: විගණන කටයුතු අඩපණ වීම, දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම සහ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය නීතිගත කිරීම ප්‍රමාද කිරීම.

ළමා හා මාතෘ සෞඛ්‍ය: අවුරුදු දෙකට අඩු දරුවන්ට ත්‍රිපෝෂ ලබා දීම ප්‍රමාද වීම සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවක හිඟය.

මීට අමතරව, හෘද ශල්‍යකර්ම ඇතුළු සැත්කම් සඳහා පවතින දිගු පෝලිම් සහ දැඩි සත්කාර ඒකක පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා රෝගී ජීවිත අවදානමකට ලක්ව ඇති බවද හෙතෙම පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම බරපතළ ගැටලුවලට "පැලැස්තර විසඳුම්" ලබා දෙමින් වගකීම් විරහිතව කටයුතු කරන බව පෙන්වා දුන් වෛද්‍ය චමල් සංජීව මහතා, ජනාධිපතිවරයා සහ විෂයභාර අමාත්‍යවරයා වහා මැදිහත් වී මේවාට විසඳුම් ලබා දිය යුතු බව අවධාරණය කළේය. එසේ නොමැති වුවහොත්, නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම වෙනුවෙන් ඉදිරියේදී ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සහ දැවැන්ත විරෝධතා මාලාවක් දියත් කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka