ළමුන් වෙළඳ ප්‍රචාරණ කටයුතුවලට යොදාගැනීම සම්බන්ධයෙන් බරපතළ නීතිමය ගැටලුවක් මතු වී ඇත.
ජනාධිපති අනුර දිසානායක ගේ සමීපතමයෙකු වන, දේශපාලන රැකවරණය ලබා විදෙස්ගතව වෙසෙන උවිඳු කුරුකුලසූරිය විසින් මෙම ප්‍රශ්නය සමාජ මාධ්‍ය හරහා මතු කර තිබේ.
මෙහිදි උවිඳු කුරුකුලසූරිය පෙන්වා දෙන්නේ “මිස්ටර් කොත්තු” නමින් ව්‍යාපාරයක් කරන පුද්ගලයෙකු පාරේ යන පාසල් ළමුන්ට නොමිලේ කොත්තු ලබා දී, ඔවුන්ගෙන් රස සහ ගුණාත්මකභාවය පිළිබඳ අදහස් ලබා ගනිමින් එය වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගන්නා බවයි.
මෙම වීඩියෝව සඳහා කුඩා ළමුන්ගේ සිට වැඩිහිටි සිසුන් දක්වා පිරිසක් සහභාගී වී සිටින බවද වාර්තා වේ.
සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් උවිඳු අවධාරණය කරන්නේ ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරව ද නීති සහ සම්මුතීන් පවතින බවයි.
ඒ අනුව ඔහු කියා සිටින්නේ මෙම ක්‍රියාව නීති විරෝධී බවත්, මෙවැනි ක්‍රියාවලට දායක වන ගුරුවරුන්ට ද එරෙහිව නීතිමය පියවර ගත යුතු බවත්ය. “ගුරුවරු දැනගෙන ඉන්න ඕන නීති රීති,” යැයිද ඔහු පවසා ඇත.
මෙම ක්‍රියාවන් ළමුන්ගේ මානසික සහ නෛතික සුභසාධනයට හානිකර විය හැකි බවත්, ඔවුන්ගේ අනන්‍යතාව වෙළඳ අරමුණු සඳහා භාවිතා කිරීම ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් උවිඳු කුරුකුලසූරිය පෙන්වා දෙයි. නොමිලේ කොත්තු ලබා දීම මෙම නීති විරෝධී ක්‍රියාව වසන් කිරීමට යොදාගන්නා උපක්‍රමයක් විය හැකි බවට ද ඔහු සැක පළ කරයි.
අදාළ වීඩියෝවේ ළමුන්ගේ මුහුණු වසා ඇති පින්තූර කිහිපයක් ද ප්‍රසිද්ධ කරමින්, මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස උවිඳු කුරුකුලසූරිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
ළමුන් වෙළඳ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණ නීති සහ ජාත්‍යන්තර සම්මුතීන් යටතේ නිශ්චිත නියමයන් පවතී. එවැනි අවස්ථාවලදී ළමුන්ගේ අනන්‍යතාව සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා විශේෂ අවධානයක් සහ අනුමැතියක් අවශ්‍ය වේ.
මෙම සිදුවීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ වෙළඳ ප්‍රචාරණ කටයුතුවල ආචාරධර්මීය සීමාවන් පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශ ඉදිරිපත් කරන ලෙසත් සමාජ ක්‍රියාකාරීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
-newshub