ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන වංචා නඩුවකට අදාළව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය පසුගියදා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළාය.
ජාතික කම්කරු ආයතනයේ වෘත්තීය සමිතියට අයත් යැයි කියන ගොඩනැගිල්ලක් ව්‍යාජ ලිපි ලේඛන සකසා රුපියල් ලක්ෂ 36 ක මුදලකට බදු දීම සම්බන්ධයෙන් මෙම නඩුව ගල්කිස්ස අධිකරණයේ විභාග වේ.
මෙම සිදුවීමේ සැකකරුවකු ලෙස වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා නම් කරන ලෙස අගතියට පත් පාර්ශ්වය කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් නියෝගය ලබාදීම සඳහා නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කර ඇත.
එසේම වසන්ත සමරසිංහ මහතාගෙන් ලබාගෙන ඇති ප්‍රකාශය අධිකරණයේ ගොනු කරන ලෙස ද මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කර ඇත.
විමර්ශනයේ දී අනාවරණය කරගත් ලේඛන ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර ඇති අතර එම ලිපි ලේඛන වලට ගොඩනැගිල්ලේ ඔප්පුව සහ තවත් ලේඛන ඇතුළත් වේ.
නඩුව කැඳවූ අවස්ථාවේ දී ජාතික කම්කරු ආයතනය අයත් ගොඩනැගිල්ලක් වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා ඔප්පුවක් මගින් මහින්ද ජයසිංහ මහතාට බදු දී ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇති හෙයින් අදාළ සිදුවීමේ සැකකරුවකු ලෙස සමරසිංහ මහතා නම් කරන ලෙස අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගය ලබාදීම එළැඹෙන ජූලි 25 වැනිදා දක්වා කල් තබා ඇති අතර එහිදී නියෝගය ලබා දීම සඳහා සමරසිංහ මහතාගේ ප්‍රකාශය අධිකරණයේ ගොනු කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කර ඇත.