ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරෙහිව පොලිස් සැරයන්වරයකුට පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත. මෙම සිද්ධියට හේතුව වී ඇත්තේ කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමක් බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරී දුරකථනයට ඇමතුමක් ගෙන ඇති අදාළ මන්ත්‍රීවරයා, “කවුද ඔය පොලිසියේ අජිත් කියන්නේ මිනිසුන්ට බොරුවට කසිප්පු නඩු දාලා, කනටත් ගහලා මේ සිද්ධිය ඕඅයිසී මහත්තයා ඔයා දන්නේ නැද්ද?” යනුවෙන් විමසා ඇති බව සඳහන් වේ.
එදින සවස හයට පමණ පොලිස් සැරයන් අජිත් තමා හමුවට පැමිණ, මන්ත්‍රීවරයා තම ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන තමාට පරුෂ වචනයෙන් බැණ වැදී “උඹ දඟලන්න හදන්න එපා, උඹව මම වවුනියාවට යවනවා දැනගනින්” යැයි පවසා තර්ජනය කළ බව ප්‍රකාශ කර ඇත.
කසිප්පු ජාවාරම්කාරුවකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මෙම තර්ජනයට හේතු වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම බැණ වැදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයාගෙන් සහ එම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සහකාර පොලිස් අධිකාරීවරයකු මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඊට අමතරව, මෙම සිද්ධියට අදාළව තවත් පොලිස් නිලධාරියකුගෙන් සහ සිවිල් පුද්ගලයකුගෙන්ද ප්‍රකාශ ලබා ගෙන ඇති බව කළුතර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
මේ සම්බන්ධව කරන ලද විමර්ශනවලට අදාළව මත්පැන් ජාවාරම්කරුගේ පෙර වැරදි ඇතුළත් තොරතුරු මතුගම සහ ඉත්තෑපාන පොලිසිවලින්ද කැඳවා තිබේ. මන්ත්‍රීවරයා පොලිස් සැරයන්වරයාට බැණ වැදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද නියමිතව ඇත.
තවද, මෙම සිද්ධිය පාදක කොටගෙන අදාළ පොලිස් සැරයන්වරයා විශ්‍රාම යාමේ ලිපිගොනු භාරදීමේ සූදානමක් පවතින බවට වැඩිදුරටත් දැනගන්නට ඇත.
-lankacnews