gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙදාහේ බෙහෙත හැත්තපන්දාහට විකුණූ සන්ෂයින්ලා තාමත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ

රුපියල් දෙදහසකට ආසන්න වටිනාකමකින් යුත් කොන්ට්‍රාස්ට් මීඩියා (Contrast media – CM) නම් ඹෟෂධය සෞඛ්‍ය අමාත්‍යංශයට රුපියල් 75,628/- ක් වැනි අධික මිලකට අලෙවි කරන ලද සන්ෂයින් හෙල්ත්කෙයාර් පුද්ගලික සමාගම (Sunshine Healthcare Lanka Ltd) තවමත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි ආයතනයක් ලෙස ක්‍රියාත්මක බව වාර්තා වේ.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මේබව පසුගියාදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

අදාළ ඖෂධය එම වසරේදීම (2023) ජී.ඊ. හෙල්ත් කෙයොර් අයිලන්ඩ්ස් (GE Healthcare islands)  සමාගමින් මිලදීගෙන ඇත්තේ එකක් රුපියල් 2025/-කට බවත් ඔහු අනාවරණය කළේය.

එම සමාගමින් කොටස් 34,000ක් එම මුදලට අදාළ සමාගමින් මිලදී ගෙන තිබේ.

කෙසේවුවද, එම ඔසුවම සන්ෂයින් හෝල්ඩිංග්ස් අනුබද්ධිත සන්ෂයින් හෙල්ත්කෙයාර් පුද්ගලික සමාගම (Sunshine Healthcare Lanka Ltd) හරහා රුපියල් 75,628/-ක් වැනි අධික මිලකට එම වසරේදීම කොටස් 22,500ක් ලබාගෙන ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටී.

එයට වැයකර ඇති මුදල රුපියල් බිලියන 1.7 ක් බව පැවසේ.


සන්ෂයින් හෙල්ත්කෙයාර් පුද්ගලික සමාගම හා සහ සම්බන්ධිත සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගම මෙරට ප්‍රධාන සමාගමක් වන අතර එය රන් කහට, වටවල තේ, හෙල්ත්ගාඩ් ෆාමසි, Daintee හා Zesta tea ඇතුළු මෙරට ජනප්‍රිය ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යනු ලබයි.

සන්ෂයින් හෝල්ඩිංග්ස් සමූහයේ සාමාන්‍යාධිකාරී ලෙස විෂ් ගෝවින්දසාමි මහතා කටයුතු කරන අතර,ශාම් සතාසිවම් මහතා එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි.

අල්ලස් කොමිසම වැඩ පටන්ගනියි……

මේ අතර, වෙළෙඳපොළේ පවතින මිලට වඩා වැඩි මිලට මෙරටට ඖෂධ ගෙන්වන ලද සමාගම් සහ ඒ සඳහා අනුමැතිය ලබාදුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ එම විමර්ශනය ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

2022 සහ 2023 වසරවලදී මෙරටට ඖෂධ මිලදී ගැනීමේදී සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ වෙළෙඳපොළේ පවතින මිලට වඩා වැඩි මුදලකට ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් 2024 ජනවාරි 22 වැනි දින කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම එම විමර්ශනය ආරම්භ කර තිබිණි.

‘‘සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදුන් ණය මුදල් උපයෝගී කරගනිමින් ඖෂධ මිලදීගෙන තිබුණා. එලෙස ඖෂධ මිලදීගෙන ඇත්තේ එවකට වෙළෙඳපොළේ ඖෂධවල පවතින මිලට වඩා වැඩියෙන් බව 2022-2023 වසරවලට අදාළ විගණන වාර්තා මගින්ද කරුණු අනාවරණය කරගෙන තිබුණා. ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් කළා. දීර්ඝ කාලයක් ගොස් එම පැමිණිල්ලට අදාළ විමර්ශන අල්ලස් කොමිසම මගින් දැන් ආරම්භ කර තිබෙනවා’’  විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

‘‘මෙලෙස වැඩි මිලට ඖෂධ ලබාගැනීම හේතුවෙන් රජයට සිදුවූ පාඩුව ගණනය කළ නොහැකි බව විගණන වාර්තාවල සඳහන් වෙනවා. මෙම සිද්ධියට එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටි ඉහළ පෙළේ නිලධාරීන්, අදාළ ප්‍රසම්පාදන කටයුතුවලට සම්බන්ධව සිට දැනටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන නිලධාරීන් ඊට වගකිව යුතුයි. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම වෙත පැමිණිලි කළා’’ යැයි ඔහු වැඩිදුරත් කීය.
-srilankamirror.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka