ගාමිණී ආනන්ද හෙවත් ගාල්තැන්නේ කපුවා සතුව ඇති සුඛෝපභෝගී වාහන 17ක් සහිත පුද්ගලික වාහන අංගනයක ඇති වාහන 07ක් නීත්‍යානුකූලව පදනමක් නැති හොර වාහන බව පොලිස් විමර්ශන අංශ මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.
දිගන නිවසක ඇති සැක කටයුතු වාහනයක් අත් අඩංගුවට ගන්නට ගිය අවස්ථාවේ දී ලොහාන් රත්වත්ගේ සිය දිවි නසා ගත් බව කියන පුද්ගලික ලේකම්වරයා දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයට අයත් සිය නිවසට කෝටි හතරකට ආසන්න වටිනාකමක් සහිත සුඛෝපභෝගී වාහනය ගෙනත් දැමූ බව කියමින් ඊයේ (01) පොලිසියට වංගු ගසන්නට උත්සාහ කරනු ලැබුවේ මෙම ගාල්තැන්න කපුවාගේ පුතාගේ පුතා විසිනි.
කපුවාගේ පුතා විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ගිනුමට බැර කරන්නට උත්සාසහ කළ එම මිට්ෂුබිෂි ජිප් රථය පෙරේදා (31) පස්වරුවේ තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගෙන තිබිණි. මුලින්ම ලොහාන් රත්වත්තට අයත් යැයි සිතමින් විමර්ශන ආරම්භකළ ද ජිප් රථය අයත් වන්නේ ගාලතැන්නේ කපුවාට බවත් වාහනයේ තිබී 2022 වසරේ ගාලතැන්නේ කපුවා විසින් විදුලි බිලක් ගෙවූ රිසිට් පතක් හමුවීමත්, මෙන්ම වාහනය සේවා කළ ස්ථානයෙන් ලද දත්ත අනුව වාහනයේ එහි හිමිකාරිත්වය ගාල්තැන්නේ කපුවා සතුව ඇති බව අනාවරණය වීමත් සමග එහි හිමිකම තිබෙන්නේ ගාල්තැන්නේ කපුවාට බව හෙළි වී ඇත.
විමර්ශනය වැඩි දුර පවත්වාගෙන යන විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නුවර යන අවස්ථාවක ඔහුගේ ආරක්ෂක රථයටත් වෙට්ටු දමාගෙන ගොස් පොලිස් අත් අඩංගුවට පත් වන්නේ ගාලතැන්නේ කපුවා විසින් පදවන ලද මේ රථයය. අනතුරුව රථය සම්බන්ධ සිදුකළ පරීක්ෂණවලදී එය නීති විරෝධීව භාවිතා කළ රථයක් බව අනාවරණය වී තිබේ. මෙවැනි වාහන දෙකක් ගාලතැන්නේ කපුවාගේ සන්තකයේ තිබී මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඒ වකවානුවේ දී අත් අඩංගුවට ගෙන උසාවියට කරුණු වාර්තා කළ ද එහිදී අතාර්කික ලෙස මෙම රථ නිදහස් කිරීමට අධිකරණය පියවර ගත් බවට කියමින් විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කිරීමට ද විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබිණි.
මේ පැරණි විමර්ශන මත පදනම්ව වැඩිදුර තොරතුරු සොයා බලද්දී අදාල වාහනය පමණක් නොව වාහන 17ක් සහිත පුද්ගලික වාහන අංගනයක් ගාලතැන්නේ කපුවා විසින් නඩත්තු කරන බව අනාවරණය වි ඇත. එම තොරතුරු ඔස්සේ යමින් වාහන අංගනය පරීක්ෂා කරන අවස්ථාවේ දී එහි ඇති සැක කටයුතු වාහන 07ක් පොලිස් විමර්ශකයින් විසින් හඳුනාගෙන ඇත. මෙම සියලු වාහන සම්බන්ධව මේ වනවිට විධිමත් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ තත්ත්වය තුළ ගාල්තැන්නේ කපුවා සහ ඔහුගේ පුතා අද දිනය තුළ පොලිස් අත් අඩංගුවට පත් වීමේ අවකාශයක් ඇති බව පොලිස් විමර්ශන අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.