gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජාත්‍යන්තර ක‍්‍රිකට් විනිසුරු යන්ත‍්‍ර යොදා නකල්ස් වනසයි

ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවකුවන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුට අයත් බව කියන සමාගමේ සේවයේ නියුතු විශ්‍රාමික දිසා වන නිලධාරියකු ඇතුළු පිරිසක් අදාළ සමාගමට අයත් ඉඩමක් බව පවසමින් නකල්ස් රක්ෂිත කලාපය තුළට පස් කපන යන්ත්‍ර ගෙනැවිත් අනවසරයෙන් එළිපෙහෙළි කරමින් සිටියදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලා ඇති අතර, එහිදී විශ්‍රාමික දිසා වන නිලධාරිවරයා වන සංරක්ෂණ නිලධාරීන්ට බලපෑම් සිදුකර ඇතැයි අනාවරණය වේ.

ඌව පළාතේ දිස්ත්‍රික්කයක සේවය කළ මෙම දිසා වන නිලධාරියා විශ්‍රාම යාමෙන් අනතුරුව සමාගමට සම්බන්ධවී තිබේ. අගාවුඩ් හෙවත් වල්ලාපට්ටා වගා කරන මුවාවෙන් මහජනතාවගෙන් රුපියල් ලක්ෂ ගණනින් තැන්පතු භාරගැනීම සම්බන්ධව සමාගම පිළිබඳව මහ බැංකුව විසින් පරීක්ෂණයක්ද පවත්වන්නේය.

නකල්ස් රක්ෂිත කලාපයේ මහනුවර දිස්ත්‍රික්කයට අයත් කොටසේ පුද්ගලික ඉඩම් ද පිහිටා ඇති අතර, එම ඉඩමවලින් විශාල ප්‍රමාණයක් පවරා ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේදී කටයුතු කළේය. එලෙස පවරාගත් ඉඩමක් මෙලෙස අනවසරයෙන් එළිපෙහෙළි කර ඇතැයි අනාවරණය වේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව මෙලෙස අදාළ ඉඩම එළිපෙහෙළි කර තිබෙන බවත්, රක්ෂිත කලාපයක් තුළ තිබෙන පුද්ගලික ඉඩමක වූවද යම් සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේ නම් පරිසර ඇගයීම් වාර්තාවක් සිදුකර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගත යුතු බව වන සංරක්ෂක ජනරාල් නිශාන්ත එදිරිසිංහ පැවසුවේය.

නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් එළිපෙහෙළි කිරීමක් සම්බන්ධව ඉකුත් 12 වැනිදා දහවල් ලද තොරතුරකට අනුව ඒ සම්බන්ධව සොයා බැලීමට වන සංරක්ෂණ නිලධාරීන් ගිය අවස්ථාවේදී හිටපු දිසා වන නිලධාරිවරයා බලපෑම් එල්ල කර ඇත. නමුත් වන සංරක්ෂණ නිලධාරීන් පස් කපන යන්ත්‍රයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන්නේය. හිටපු දිසා වන නිලධාරීවරයා වන සංරක්ෂණ නිලධාරීන්ට දැනුම්දී ඇත්තේ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා මුදාහරින ලෙසය.

මෙම එළිපෙහෙළි කිරීම සිදුකර ඇත්තේ නකල්ස් රක්ෂිතයේ කණු මායිමෙන් ඇතුළත ප්‍රදේශයේ බව වන සංරක්ෂණ නිලධාරීහූ කියා සිටිති. එනම් රක්ෂිත කලාපය තුළය. නකල්ස් රක්ෂිතයට පවරාගත් සහ ගැනීමට නියමිත ඉඩම් තුළද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කණු යොදා තිබෙන බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීයකු පැවසීය.

මෙලෙස පස් කපන යන්ත්‍රයක් යොදාගෙන මාර්ගයක් සකස් කළ බවට එම යන්ත්‍රයේ රියදුරු පවසා තිබේ.

අදාළ ඉඩමද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරාගත් ඉඩමක් බවට පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස නකල්ස් රක්ෂිතයට මහනුවර දිස්ත්‍රික්කයෙන් පවරාගෙන ඇති සමස්ථ පුද්ගලික ඉඩම් ප්‍රමාණය අක්කර 115 කි.

අදාළ ඉඩම සම්බන්ධයෙන් නිශ්චිතවම තහවුරුකර ගැනීමට අදාළව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තෙල්දෙණිය අධිකරණයට අද (15 වැනිදා) දිනයේදී බී වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බව වන සංරක්ෂක ජනරාල්වරයා පැවසීය. අදාළ සමාගමට ඉඩමේ හිමිකාරීත්වයක් ඇත්නම් ඉඩමට අදාළ ඔප්පු ඇතුළු ලේඛන අධිකරණයට ඉදිරිපත් කළයුතු බවද ඔහු කීවේය.

සිද්ධිය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසරවේදී ජනක විතානගේ කියා සිටියේ මෙම දිසා වන නිලධාරීවරයා සේවයේ නිරතව සිටින කාලයේදීද මොණරාගල දිස්ත්‍රික්කයේ වන ඉඩම් සමාගම්වලට ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන බවය. නකල්ස් රක්ෂිත කලාපයේ පමණක් නොව දිවයිනේ විවිධ ප්‍රදේශවල විශේෂයෙන් සිංහරාජ ප්‍රේරණ කලාපයේ පවා පවතින ඉඩම් සම්බන්ධයෙන් මෙම සමාගමට චෝදනා පවතින බවද ඔහු කීවේය.


– Aruna


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka