gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“පොලිස්පති හා ඇමතිවරයා ඉවත් කිරීමේ බලවේගවලට එරෙහිව දිවි පරදුවට තබා කටයුතු කරනවා” – උඩුවේ ධම්මාලෝක හිමි

මේ රටට යමක් කළ හැකි යැයි ක්‍රියාවෙන් සනාථ කොට ඇති වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කළ හැකි නම් සුදුසු යැයි උඩුවේ ධම්මාලෝක හිමියෝ පැවසූහ.

කාදිනල් හිමියන් දේශබන්දු තෙන්නකෝන්ගේ පත් වීමට එරෙහිව නගන චෝදනා සම්බන්ධයෙන් තමන් වහන්සේ කනගාටුවට පත්වන බව ද උන්වහන්සේ කීහ.

කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ ඉකුත් දා (පෙබ. 24) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ බව සඳහන් කළහ.

යුක්තිය මෙහෙයුම නතර කිරීමට, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඉවත් කිරීමට යම් බලවේගයක් ක්‍රියාත්මක වන්නේ නම් මහා සංඝරත්නය එයට එරෙහිව දිවි පරදුවට තබා කටයුතු කරන බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

යුක්තිය මෙහෙයුම නතර කිරීම සඳහා එල්ලවන බව කියන බලපෑම් සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ මතය පැවසීම සඳහා මේ මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර අමරපුර මහා නිකායේ වැඩබලන මහ නායක නිකපොත චන්ද්‍රජෝති හිමි ප්‍රධාන ගම්පහ, ත්‍රිකුණාමල, අම්පාර, මොනරාගල, කළුතර, ගාල්ල ආදී ප්‍රදේශවලින් වැඩම කරවූ ස්වාමීන් වහන්සේ එක්ව සිටියහ.

මාතර වෙහෙරහේන පූර්වාරාම විහාරස්ථානයේ විහාරාධිපති කෑගල්ලේ රතනසාර හිමියෝ මෙසේ පැවසූහ.

“මත්ද්‍රව්‍ය නිසා මේ රට භාර ගන්න ඉන්න තරුණ පරපුර විනාශ වෙමින් යනවා. මේ රට ඇතුළෙන් අත්අඩංගුවට පත්වෙන මත්ද්‍රව්‍ය තොග දිහා බැලුවා ම එක්කෝ මේ රට ඒවා බෙදා හරින මූලස්ථානයක් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් මේ රටේ සෑහෙන්න පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කරන අය වෙන්න ඕනේ. යුද්ධ නිසා නොසෑහෙන්න බැට කාපු මේ රටේ මිනිස්සු අද මත්ද්‍රව්‍ය කියන භයානක අනතුරට මුහුණපාලා ඉන්නවා. මේක සියලු ක්ෂේත්‍රවලට බලපෑම් කරනවා. මත්ද්‍රව්‍ය තුරන් කරන්න ‘යුක්තිය’ නමින් නිර්භයව ආරම්භ කරපු මෙහෙයුම ගැන අපි සතුටු වුණා. වැඩබලන පොලිස්පති, පොලිසිය භාර ඇමති තමන්ගේ ජීවිත පවා පරදුවට තියලා මේ ගෙන යන වැඩපිළිවෙළ නතර කරන්න, එය විනාශ කරලා දාන්න කවර හෝ බලවේගයක් ක්‍රියාත්මක වෙනවා නම්, අපි එය වැළැක්වීම සඳහා කැප විය යුතුයි. නීතිය ක්‍රියාත්මක කරන පිරිසට සහයෝගය දීම වැදගත්. සෑම ජන කොටසක් ම කරදරයක් නැතිව නිදහසේ ජීවත් වෙන රටක් බවට මේ රට පත් වෙන එක දැකීමයි අපේ සතුට.”

මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර නාහිමියෝ…

“යුක්තිය මෙහෙයුම ලංකාවේ මෑත කාලයේ ක්‍රියාත්මක වන ඉතාමත් ම වැදගත් මේ රටේ සුවහසක් ජනතාවගේ ප්‍රසාදයට ලක්වුණු වැඩසටහනක්. මේ යුක්තිය වැඩසටහන පොලිස්පතිතුමාගේ, පොලිසිය භාර ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකයි. එය මේ රටේ ගම්නියම්ගම් දනව්වල පවා පැතිර ගොස් තිබෙන වයස් සීමාවකින් තොරව පාසල් දරුවන් ඇතුළුකොට සියලු ම ජනතාවගේ හානියට බලපාන මත් උවදුර වැළැක්වීම සඳහා ගනු ලැබූ පියවරක් හැටියට අපි කවුරුත් දන්නවා. මත් උවදුර පමණක් නෙමෙයි මේ සමාජය වෙළාගෙන තිබෙන සෑම ආකාරයක ම සාපරාධී ක්‍රියාවන්,

විවිධ ආකාරයේ අකටයුතුකම් වැළැක්වීමේ වැඩපිළිවෙළක් හැටියට අපි එය දකිනවා. සූසැට භරණ පැලඳගත් තරුණියක් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කිසිදු ආකාරයක අඩන්තේට්ටම් කිරීමකින් තොරව යන්න පුළුවන් වුණු සදාචාර සම්පන්න ජනතාවක් ජීවත් වුණු රටක් හැටියට මේ රට ප්‍රචලිතයි. නමුත් මේ රටේ මත් උවදුර සමඟ ඇතිවුණු සමාජ ව්‍යසන හා තත්ත්වයන් සමාජයේ සෑම අංශයකට ම පැතිරිලා ගිහින්. මහා විනාශකාරී, අන්තරායකාරී, සාපරාධී ක්‍රියා විවිධ අංශවලට විවිධ දිශානතීන්වලින් මේ සමාජය වෙළා ගත්තා. සමාජයේ සෑම අංශයක ම ජනතාව මේ ව්‍යසනකාරී තත්ත්වයෙන් ඉමහත් වූ පීඩාවටත් පත් වුණා.

විහාරස්ථානයක නිදහසේ පින්කමක් කරගන්න බෑ. විහාරස්ථානයේ බුදු හාමුදුරුවන්ට පූජාවක් කරනවා නම් ඒ පිත්තල පාත්තරේ අරගෙන යනවා. අපිට විහාරස්ථානයක පූජනීය භාණ්ඩයක් තියාගන්න බෑ. විහාරයේ පිත්තල යතුරත් හොරා ගෙන යනවා. මේ විධියට පූජනීය ස්ථානයක ආගමික වතාවත් කරන්න නොහැකි තත්ත්වයක තිබුණා. ඊට අමතරව අපි දකිනවා බස්වල කාන්තාවන්ට සිදුවන්නා වූ ලිංගික අඩන්තේට්ටම් වැළැක්වීම පිණිස ඒව කරන අය අල්ලගන්නට පොලිසියේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කාන්තාවන් පවා ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වුණා.

ඒ විධියට කාන්තාවන්ට, ගැහැනු ළමයින්ට නිදහසේ යන්න බැරි වෙලා තියෙන මේ රටේ ඒවා වැළැක්වීම සඳහා මේ යුක්තිය මෙහෙයුම ඉතා විශාල සහයෝගයක් ලබාදෙන බව අපි දකිනවා.

යුක්තිය වැඩපිළිවෙළ පොලිස්පති සහ පොලිසිය භාර ඇමතිවරයා මේ සමාජය පුරාවට වෙළාගෙන තිබෙන සියලුම සමාජ විරෝධී ක්‍රියාවන් මැඬලන වැඩපිළිවෙළක් හැටියටයි අපි දකින්නේ.

මේ වැඩසටහන නතර නොකර තවත් වේගවත්ව සමාජය පුරා ක්‍රියාත්මක කර මේ අකටයුතුකම් වැළැක්වීම කළ යුතුයි. ස්වාමීන් වහන්සේ හැටියට පොලිස්පතිටත්, පොලිසිය භාර ඇමතිටත් අපේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව අපි මේ අවස්ථාවේදී ප්‍රතිඥා දෙනවා.”

කොළඹ ලුම්බිණි විද්‍යාලයේ සහකාර විදුහල්පති දිවිතුරේ සමන්ත හිමි…

“පංචශීලයේ පස්වැනි සිල් පදයෙන් ඉගැන්වෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම පිළිබඳවයි.

හාමුදුරුනමක් ලෙස හා පාසල් ගුරුවරයෙක් හැටියට මම මේ මත්ද්‍රව්‍යට එරෙහිව කටයුතු කරපු කෙනෙක්. ඒ වගේ ම අපි දකිනවා ඇතැම් පාසල්වල පන්ති කාමර සෙල්ලම් මඩුවක් වෙලා. සමහරු පුවක් කාලා, සමහරු ගංජා ගහලා, සමහර ළමයිගේ ගෙවල්වල අම්මලා, තාත්තලා කුඩු විකුණනවා. ගංජා විකුණනවා. හංගලා තියෙන්නේ දරුවගේ පොත් බෑග් එකේ. පාසල්වලට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශවලින් ඇවිත් විවිධ වැඩසටහන් කරනවා. මේ අවස්ථාවල මම කියපු දෙයක් තමයි මේ මත්ද්‍රව්‍යවලින් දරුවා මුදාගන්න කටයුතු කරනවා වගේ ම මේ මත්ද්‍රව්‍ය මහ පරිමාණයෙන් රටට ගේන එක වළක්වා ගන්න කටයුතු කරන්නෙ නැත්තෙ ඇයි කියන එක.

මේ සුළු පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා ඒවා පාවිච්චි කරන අයට පමණක් නොවේ මේවා රටට මහා පරිමාණයෙන් ගෙනැල්ලා මේ රට විනාශ කරන ඒ තෝරු – මෝරු කොටු කරන්න ඕනේ. එයාල මත්ද්‍රව්‍ය ගේන ජාලය අඩපණ කරන්න ඕනෑ මේක නවත්තන්න නම්. මේක මම හැමදාම කියපු දෙයක්. එය දැන් ක්‍රියාත්මක වීම ගැන හාමුදුරුනමක් සහ ගුරුවරයෙක් හැටියට මම බොහෝ සන්තෝෂ වෙනවා. ඒ වාගේම මේ වැඩපිළිවෙළ ආරම්භ වෙන්න පෙර පන්ති කාමරයේ තිබුණු තත්ත්වය බලද්දී මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙලා මාසයක් දෙකක් යනකොට සැබෑ වෙනසක් වෙලා තිබෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට යන්න ඕනෑ.”

කැලණිය විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙසේ ද කීහ.

“රට අගාධයකට වැටෙද්දී හාමුදුරුවරු හැමදා ම නැගිට්ටා. එතැනදී හිටගත්තේ රට පැත්තේ මිසක් දේශපාලන දෘෂ්ටියක් තිබ්බේ නෑ. කිසි ම ලාබයක්, ප්‍රයෝජනයක් හෝ දේශපාලන වාසියක් ලබා ගන්න හාමුදුරුවරු මෙතැනට වැඩියේ නැහැ. රටට අයුක්තියක් සිදු වෙනවා නම් අපිට ඒ පැත්තේ හිට ගන්න බෑ. අපි හැමදා ම අයුක්තියට පිටුපා යුක්තිය පැත්තේ හිට ගත්තා. මේ රටේ සියලු ම ස්වාමීන් වහන්සේ හා පන්සල් මේ මත්ද්‍රව්‍ය උවදුරේ තර්ජිත පිරිස බවට පත් වෙලා. දායක පවුල්වල ආර්ථික යහපැවැත්ම කඩා වැටිලා. පන්සලට වගේම කිතුනු පල්ලියට, මුස්ලිම් පල්ලියට වගේම හින්දු කෝවිලටත් මේක බලපාලා. මේක එක ජන කොටසකට විතරක් බලපාන දෙයක් නෙවේ. ඒ නිසා කිතුනු පූජකවරු, හින්දු කුරුක්කල්වරු වගේම මුස්ලිම් මව්ලවිවරුත් මෙයට එරෙහිව නැඟී සිටිය යුතුයි.

යම්කිසි කෙනෙක් යුක්තිය මෙහෙයුමට විරුද්ධ වෙනවා නම් ඒ අය රට පැත්තේ හිටගන්න අය නෙවේ. එය මත්ද්‍රව්‍ය උවදුර විතරක් නොවේ සමාජයේ වෙනත් විනය විරෝධී වැඩ සියල්ලට එරෙහි වන වැඩපිළිවෙළක්. එයට එරෙහි වීම යනු ප්‍රකෘතියේ සිට විකෘතිය වෙත යෑමක්. යුක්තියට එරෙහිවන සාතිශය බහුතරය අයුක්තිය පැත්තේ හිටගෙන සිටින බව අමතක නොකළ යුතුයි.”

සවනි ශේශාධි, සචිත්‍ර පෙරේරා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka