බෙලිඅත්තේ හොර අරක්කු ඇල්ලීම නිසා බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ උදහසට ලක් වී ඔහුගේ දේශපාලන සම්බන්ධතා හරහා මොනරාගලට මාරු කර යැවූ බෙලිඅත්ත පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සැරයන්වරයා ඊයේ (31) මානව හිමිකම් කොමිසමට ගොස් සිය අවනඩුව සම්බන්ධව පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ඇඹිලිපිටිය පොලිසියේ සේවය කරමින් සිටිය දී බෙලිඅත්ත පොලිස්ථානය වෙත අනුයුක්තක කර සිටියදී මෙම වැටලීම සිදුකළ බෙලිඅත්ත පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ධූරය දරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ද යළි ඇඹිලිපිටිය පොලිසිය වෙත ස්ථීරව මාරු කර යැවීමටත් බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සිය දේශපාලන බලය යොදාගෙන කටයුතු කර ඇතැයි වාර්තා වේ.
පොලිස්පතිවරයාත් හෑල්ලු කරමින්, පොලිස් දෙපාර්තමේන්තුවේම ගෞරවය, විශ්වාසය, තුට්ටුවට දැමූ ඔහුගේ අශ්ලීල හඬපටය සම්බන්ධව විමර්ශනයක් කිරීමට දකුණුපළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියමයෙන් පත් කළ තංගල්ල සහකාර පොලිස් අධිකාරීවරයාට ද ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස දන්වමින් දේශපාලන අධිකාරියේ එක් ඉහළ පාර්ශවයකින් බලපෑම් සිදුවෙමින් ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
එම හඬපටයට අනුව බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ නාමල් සර්ගේ සහ අගමැති (හිටපු ) ගේ අනුමැතිය මත තමන් බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති ධූරයට පත් වූ බවත් තමන්ට කිසිවෙකුට කිසිවක් කළ නොහැකි බවත්ය.
බෙලිඅත්තේ හොර අරක්කු අල්ලන්නේ නැති බවත්, බෙලිඅත්තට පැමිණියා නම් බෙලිඅත්තේ ලෙස සිටින ලෙසත් නැතිනම් රට වටේ යන්නට සූදානම්වන ලෙසත් ඔහු සැරයන්වරයාට තර්ජනය කරයි.
තමන්ට සිදුවුන අවනඩුව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමටගොස් සිය පැමිණිල්ල සටහන් කළ බෙලිඅත්ත පොලිසියේ පොලිස් සැරයන් මහමුදියන්සේලාගේ දයාසිරි මුණසිංහ සිය පැමිණිල්ලේ සටහන් කර ඇති තොරතුරු ඔස්සේ පොලිස් දෙපාර්තමේන්තුවේ ජඩ නිරුවත හෙළිදරව් වේ.
ඔහු මානව හිමිකම් කොමිසමට දන්වා ඇති පරිදි තංගල්ල පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක රංගජීවගේ අධීක්ෂණය යටතේ ,කොස්තාපල්වරයෙක් සහ පොලිස් රියදුරෙක් සමග ඔහු මෙම මත්ද්‍රව්‍ය වැටලීම් සඳහාවූ මෙහෙයුමට සම්බන්ධ වන්නේ පොලිස්පති නියමයෙන් ලැබුණු නියෝගයක් ප්‍රකාරවය.
උදේ හතට එම මෙහෙයුම ආරම්භ වී තිබේ. ඉන්ධන ගැටලුව හේතුවෙන් මෙහෙයුමට යතුරුපැදි දෙකක් යොදාගෙන ඇත. කසිප්පු, හොර අරක්කු සහ දඩමස් විකිණීම සම්බන්ධව ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත්තේ අංක 30, සිරිපුර, මිරිස්වත්ත, ගොඩකුඹුර, ලිපිනයේ පදිංචි ජයසුන්දර සුනන්ද කුමාර නැමැති පුද්ගලයෙකුගේ ගුබ්බෑයමය.
වැටලීම සඳහා ගිය යතුරු පැදි දෙකෙන් එකක නිල ඇඳුම සහිතව ප්‍රධාන පොලිස් පරීක්ෂ රංගජීව ගොස් ඇත. අනෙක් යතුරුපැදියේ සිවිල් ඇඳුමින් සිටි පොලිස් සැරයන් මුණසිංහ සහ කොස්තාපල්වරයෙක් ගොස් තිබේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීම මත හොර අරක්කු ඇල්ලීම සඳහා සිවිල් ඇඳුමින් සිටි සැරයන්වරයා සහ කොස්තාපල්වරයා යොදවා තිබේ.
වැටලීම කර අදාල සැකකරු දඩමස් උර පහලොවක් සහ අනීතික ලෙස විකිණූ අරක්කු බෝතල් 4ක් සමග අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධව නිල ඇඳුමින් මග රැඳි සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දන්වන අතරතුර බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා මෙහෙයුමට සම්බන්ධ වූ පොලිස් කොස්තාපල්වරයාට කතා කර වහාම මේ මෙහෙයුම අත්හිටුවා පැමිණෙන ලෙස නියෝග කර ඇත.
ඒ සම්බන්ධව මෙහෙයුමේ වගකීම දරන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගජීවට දැන්වූ විට ඔහු පවසා ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරයා සමග අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගැනීම නුසුදුසු බැවින් මෙහෙයුම අත්හිටුවා ආපසු යන්නට සූදානම් වන ලෙසය.
ඒ අනුව මෙහෙයුම අත්හැර යළි පොලිස් ස්ථානයට පැමිණ දිවා ආහාරය සඳහා භෝජනාගාරයට යන පොලිස් සැරයන්වරයාට තමන් මෙහෙයුම කළ හොර අරක්කු කාරයා පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවස අසල දී හමුවී තිබේ.
ඔහු උර දෙකක් රැගෙන පැමිණ ඇති අතර එම උර දෙක පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවසේ අරක්කැමියා ලෙස කටයුතු කරන සිවිල් ආරක්ෂක භටයා විසින් රැගෙන ගොස් ඇති අයුරු ඔහු නිරීක්ෂණය කර ඇත.
මේ හොර අරක්කු සහ දඩමස් වැටලීමේ සිද්ධිය මුල් කරගෙන මෙම පොලිස් සැරයන්වරයාගේ ආත්ම ගෞරවයට හානි වන අයුරින් තර්ජනය කර බැණ වදින අවස්ථාවේ පටිගත වුන හඬපටය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සිය දේශපාලන බලය යොදා ගනිමින් සිදුකළ අනීතික හැසිරීම සම්බන්ධව මේ වනවිට මානව හිමිකම් කොමිසමේ ලියවී ඇත.
අවශ්‍ය වුවහොත් මූලික අයිතාවාසිකම් කඩවීම සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් තෙක් මෙම සිද්ධිය රැගෙන යෑමට වින්දිත නිලධාරීහු සූදානමින් සිටිති.
සිද්ධිය සම්බන්ධව මේ වනවිට පොලිස් මූලස්ථානයත්, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාත්, තංගල්ල පොලිස් අධිකාරීවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයාත් දැනුම්වත් වී ඇතැයි වාර්තා වේ.
වහාම ක්‍රියාත්මකවන පරිදි පැමිණි ස්ථාන මාරුව…
බෙලිඅත්ත කසිප්පු ඕඅයිසී ගේ හඬ පටය…