පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්නට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙනි.
මෙම ප්‍රහාර පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව 2021 ජනවාරි 31 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී වත්මන් ජනාධිපතිවරයා වෙත භාරදුන් බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර ඇත.
පොලිස්පතිවරයා යටතේ ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ බරපතල නොසැලකිලිමත්කම සහ අතපසුවීම් කිහිපයක් කොමිසමේ අවසන් වාර්තාවෙන් අනාවරණය වී ඇති බවත්, ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර සහ සීඅයි චමින්ද නවරත්න යන මහත්වරුන් සම්බන්ධයෙන් වන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති බව පෙත්සම්කරු කියා සිටියේ තමාගේ දැනුම සහ පොදු තොරතුරු අනුවය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර සහ සීඅයි චමින්ද නවරත්න යන අයගේ විදේශ ගමන් බලපත්‍ර රාජසන්තක කිරීමට හෝ ඔවුන් විදේශගත වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස කොළඹ අගරදගුරු හිමියෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.
නීතීඥ ඉෂාරා ගුණවර්ධන මෙනවිය මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
