gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝල්ෆේස් විරෝධතාවයට රිංගන ‘කාක්කන්’ ගැන විමල් කියයි

මේ මොහොතේ කළ යුත්තේ ජනාධිපතිවරයා ද ඉවත්කර රට තවදුරටත් අස්ථාවර කිරීම නොවන බවත් ඔහු රටට අභිවෘද්ධිය සලසන වැඩපිළිවෙළකට සහ රට පිළිබඳ සාමූහික තීන්දු ගන්නා සියලු පක්ෂවලින් සැදුම්ලත් ජාතික සභාවකට එකඟ කරවාගෙන අගමැතිවරයා ඇතුළු පවතින ආණ්ඩුව පූර්ණ ලෙස ඉවත් කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ දී ‘රට අර්බුදයෙන් ගොඩගත හැකිද?’ යන තේමාව යටතේ පැවති සිය විශේෂ දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“ඉන්ධන ලබා ගන්න ගියාම ඉන්ධන නැතිවෙනකොට, ආනයනික ඇතැම් භාණ්ඩ හිඟ වෙනකොට, ගෑස් මිල දී ගන්න ගියාම ගෑස් නැති වෙනකොට, විදුලිය කැපෙන කොට ආදී විවිධ කාරණා ඔස්සේ අපේ ඇඟපතට දැනෙනවා, ‘රටේ ආර්ථිකය දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබෙනවා’ කියා. මේ ආරම්භය පමණයි. දැන් කියවෙනවා ‘කඩදාසි නැහැ’ කියා. ඉදිරියේදී සුපිරි වෙළඳසැල්වල බඩු හිඟයි, කියාවි.

දැන් අපි ඉන්ධන නැවක් එනකොට ඒක විශාල ප්‍රවෘත්තියක් බවට කරගත්තු රටක්. සාමාන්‍යයෙන් ගෑස් නැව් දෙක තුනක්, ඉන්ධන නැව් දෙක තුනක් තිබෙනවා මහමුහුදෙ, ගොඩබාන්න විදිහක් නැතුව ණයවර ලිපි විවෘත කරගැනීමට බැරිව. ඉස්සර අපි මේ නැව් ආවාද නැද්ද, කියා දන්නේ නැහැ. අර්බුදය විසින් ඒවා ප්‍රවෘත්ති බවට පත් කොට තිබෙනවා. බරපතලකම කොයි තරම් අඩු වැඩි වශයෙන් දැක්කත් අපට පිළිගන්න වෙනවා අපි ඉදිරියේ අර්බුදයක් තිබෙනවා, කියා. එය විසඳාගත හැක්කේ කෙසේද, කියන ප්‍රශ්නය ඒ සමඟ එනවා.

මේක විදේශ විනිමය අර්බුදයක් ලෙසයි පෙනෙන්නේ. ඉන්ධන, ගෑස්, කිරිපිටි, කඩදාසි ආදිය ගන්න විදේශ විනිමය නැහැ. එතකොට මේ විදේශ විනිමය අර්බුදය ඇතිවන්නේ කෙසේද? නිදහසින් පසු 1977 දක්වා කාලවකවානුවේ අපි වියදම් කළේ රට තුළ විදේශ විනිමය තිබූ ආකාරයටයි. ඒ වකවානුවේ යම් යම් භාණ්ඩ හිඟයක් තිබුණා. ඒ නිසා පෝලිම් තිබුණා. නමුත් විදේශ විනිමය ණයට අරන් රටේ ජනතාවට කන්න බොන්න දෙන්න ගියේ නැහැ. නමුත් 1977න් පසු එම තත්ත්වය වෙනස් වුණා. ඒ පිළිබඳව දීර්ඝව කතා කළ යුතුයි, පළමුව විදේශ විනිමය අර්බුදය ඇති වන්නේ කෙසේද, කියන එක විමසා බැලීමේ දී ආණ්ඩුව කියන්නේ සහරාන්ලාගේ පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය හා යුක්රේන යුද්ධය නිසා කියලයි. සහරාන්ලාගේ ප්‍රහාරය නිසා නම් දැන් වන විට විදේශ විනිමය අර්බුදය අවසන් වෙලා තිබිය යුතුයි. කොරෝනා වසංගතය නිසා ඇති වූ බලපෑම ද දැන් අවමයි. යුක්රේන යුද්ධය නිසා ද අපට ඇති වූ බලපෑම අවමයි. අපි තෙල්, ගෑස් මිලදී ගන්නේ යුක්රේනයෙන් නොවෙයි. යුක්රේන සංචාරකයන් පැමිණීම අඩු වීම තමයි මෙමගින් ඇති වූ එකම බලපෑම. මේ සාධක තුනෙහි බලපෑම නැතිව ගියාම විදේශ විනිමය උනන්න පටන් ගන්නවාද? නැහැ. සමහරු මේ ප්‍රශ්නේ එතැනට පටු කරන්න බලනවා. ප්‍රශ්නෙ එතරම් සරල කරගෙන තමයි කියන්නේ, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාම වැඩේ ගොඩ’ කියා.

සහරාන්ලාගේ ප්‍රහාරය නාවත්, කෝවිඩ් නාවත්, යුක්‍රේන යුද්ධය නාවත් ප්‍රමාදවී හෝ අපට මේ විදේශ විනිමය අර්බුදයට මුහුණදීමට සිදුවෙනවා. අර්බුදය ඉක්මනින් පැමිණීමයි ඉහත සාධක මගින් සිදු වූයේ.

‘ණය ප්‍රාග්ධනය පොම්ප කිරීම’

1977න් පසුව අපේ ආර්ථික මොඩලය වෙනස් වුණා. ඒකට අපි කිව්වා විවෘත නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමය කියා. එම ආර්ථික ක්‍රමය මගින් විශාල විදේශ ණය ප්‍රාග්ධනයක් රට තුළට පොම්ප කරනු ලැබුවා. මුලින්ම මහවැලි සංවර්ධන ව්‍යාපාරය අවුරුදු 5කින් අවසන් කිරීමට පසුව මහා මාර්ග හැදීම වැනි යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් නොවෙයි රජයේ සේවකයාගේ වැටුප් ගෙවීමට පවා මේ ණය ප්‍රාග්ධනය ලබා ගැනීමට සිදු වුණා. ණය යෝජනා ක්‍රම මගින් තමයි ගමක පාරක බෝක්කුව පවා හැදුණේ. විදුලි බලයෙන් රට 100%ක් සංතෘප්තයි කීවාට ඒ සඳහා ඇදපු හැම විදුලි රැහැනක්ම, විදුලි කණුවක්ම එම ණය ප්‍රාග්ධනය තුළින් ලබාගත් ඒවා. කොටි ත්‍රස්තවාදය පරදවා රටේ ඒකීයභාවය රැකීමට සිදුවුණෙත් ණයට අරන්. ඒ සඳහා වැය කළ මුදල ඩොලර් බිලියන 200කට අධිකයි.

මධ්‍යම පන්තිය පුළුල් වීම

මේ ණය ප්‍රාග්ධනයෙන් කොටසක් සමාජයට එනවා. එමගින් මධ්‍යම පන්තිය පුළුල් වෙනවා. මධ්‍යම පන්තිය පුළුල් වීමත් සමඟ සිතුම් පැතුම්, පරිභෝජන රටාව වෙනස් වෙනවා. ගමේ පාසල හොඳ නැති වෙනවා, ජාත්‍යන්තර පාසල් කියා දෙයක් ඇතිවෙනවා. ඒවාට වෙනම ගුරු ප්‍රජාවක් හැදෙනවා. ටියුෂන් එනවා. තරගකාරිත්වය වැඩි වෙනවා. මේ විදිහට මුළු ජීවන රටාවම වෙනස් වෙනවා. ‘වයි ජෙනරේෂන්’, ඒ කියන්නේ අන්තර්ජාලය භාවිතා කිරීමට පටන් ගත්තු පරම්පරාව බිහි වෙනවා. මේ ආකාරයට බිහිවූ නව පරම්පරාවන්වල ඇතැම් දරුවන්ගේ ‘හෙයා ස්ටයිල්’ නිව්යෝර්ක්, ලන්ඩන් නගරවල වෙසෙන දරුවෙකුගේ ‘හෙයා ස්ටයිල්’ එකට සමානයි. 100%ක් නොවුණාට ඒ දරුවන් සිතන පතන ආකාරයත් එම රටවල දරුවන්ට සමානයි. ජංගම දුරකථනයෙන් ‘ගේම් ගහලා’ අම්මා ඒ පිළිබඳව අවවාද කළාම සියදිවි නසාගත් දරුවන් ද මේ නව පරම්පරා තුළ සිටිනවා.

‘යකා අවුස්සා ගැනීම’

මෙය චක්‍රයක් ලෙස ඉදිරියටම යනවා. ණය ප්‍රාග්ධනය එනවා. එයින් කොටසක් සමාජයට එනවා. ලැබෙන ප්‍රාග්ධනය සොරා කෑම ද සිදු වෙනවා. මේ සියල්ලෙන් මධ්‍යම පන්තිය පුළුල් වෙනවා. අවශ්‍යතා ද පුළුල් වෙනවා. ‘ඇවිදින මංතීරු’ අවශ්‍ය වෙනවා. ඒවාට ද ණය ප්‍රාග්ධනය ලබාගන්නවා. දැන් ‘යකා’ අවුස්සාගෙන ඉවරයි. මම මේ කියන දෙය පටු අර්ථයෙන් ගන්න එපා. මේ මධ්‍යම පංතිය එක්තරා දුරකට යකෙක්. පුරුදු ජීවන රටාව දෙන්නම වෙනවා. නැතිනම් මරන් කන්න එනවා. පුද්ගලික ජෙට් එකෙන් ගිහිල්ලා හරි තමන්ගේ අවශ්‍යතා සපුරාගෙන, පිටරටකට හෝ ගිහින් ජීවත් විය හැකි උඩම පිරිස හැරුණාම, මධ්‍යම පන්තියේ ඉහළම කොටස, ඊට පහළ මට්ටමේ පිරිස, ඊටත් පහළ සියලු සමාජ ස්ථරයන් මේ අර්බුදය විසින් පීඩාවට පත් කර තිබෙනවා. සල්ලි තිබෙන කෙනා ගියත් අද ගන්න තෙල් ටික නැහැ.

ගාලුමුවදොර විරෝධතාවයේ වැඩිපුර ඉන්නේ මධ්‍යම පන්තියේ පිරිස්නේ. මම දුටුවා තරුණියක් බෝඩ් එකක් අල්ලන් ඉන්නවා, ‘ලයිට් කපන්න එපා යකෝ, මට මිනිහගෙන් කරදරයි.’ කියා. අපි හිනා වුණාට ඒවත් මධ්‍යම පන්තියේ ප්‍රශ්න. සමහර විට ඊට වඩා වැඩි ප්‍රශ්නවලට ඒ තරුණියට මුහුණ දීමට සිදුව නැතුව ඇති. මෙවැනි බොහෝ සටන්පාඨ මේ තරුණ පිරිස් අත තිබෙනවා. මම ඔවුන්ව විවේචනය කරනවා නොවෙයි, එය තේරුම් ගැනීම සඳහායි පවසන්නේ. මේ අර්බුදය විසින් ඔවුන්ගේ ජීවන පැවැත්ම අභියෝගයට ලක්කර තිබෙනවා. එවිට කිසි දිනෙක විරෝධතා නොකරපු කෙනා විරෝධතා කරන්න යනවා. දැන් අපට පෙනෙන්නේ ඒක.

‘දිගටම යන්න බැරි ණයට කන ගමන’

මේ ආපු ගමන ඇතුළේ අපට ආනයන සඳහා ඩොලර් 1000ක් උවමනා නම් අපි උපයලා තිබෙන්නේ ඩොලර් 01යි. ඉතිරි ඩොලර් 999ම අපි ගත්තේ ණයට. රාජ්‍ය වියදම් පියවාගන්න රජය ණය ගන්නවා. ණයවර ලිපි විවෘත කිරීම ආදියට බැංකු පිටරට බැංකුවලින් ණය ගන්නවා. හැබැයි මධ්‍යම පන්තිය පුළුල් වෙනවා. ඔවුන්ගේ අතට මුදල් එනවා. ‘මේ රෝල ගහගෙන යන්න පුළුවන් නම් හොඳයිනේ’ කියා ඕනෑම කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් එවැනි ගමනක් දිගටම යන්න බැහැ. අපි අපනයනයෙන් උපයන මුදලට වඩා වැඩියි ආනයනයට වැය කරන මුදල. මේ ගැටලුව විසඳීමේ ක්‍රියාමාර්ග නොමැතිව, ඇස් වහගෙන මේ රටේ ආර්ථිකය හසුරුවපු සියලුදෙනා මේ දශක තුනකට අධික කාලය තුළ ඉදිරියට ඇවිත් තිබෙනවා.

අපට නිදහසින් පසුව 2015 මුල දක්වා ගෙවීමට තිබූ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 07ක් පමණ වුණා. එතැන් සිට ආරම්භ වූ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරූ අවුරුදු හතරහමාර තුළ ලබා ගත් ණය ප්‍රමාණය ද ඩොලර් බිලියන 7කට ආසන්නයි. එමගින් රටේ ණය බර දෙගුණ වූවා. එක් එක් පාලනතන්ත්‍ර ඡන්දදායකයා සතුටු කරලා තියෙන්නේ එහෙම ණය අරන්. අපි ඒ විදිහට සැප සේ ජීවත් වෙලා තිබෙනවා. එමගින් අනාගත පරපුරට සැප සේ ජීවත් වීමට තිබූ අවස්ථාවයි අපි උදුරාගෙන ඇත්තේ. ඒ පරපුරේ ජීවන පැවැත්ම අද අභියෝගයට ලක්වෙලා නිසයි ඔවුන් පාරට බැස ඇත්තේ. මේ වසරේ ගෙවීමට ඇති සමස්ත විදේශ ණය වාරිකය ඩොලර් බිලියන 6.75ක්. තෙල්, ගෑස්, සීනි, කිරිපිටි ආනයනයට වාර්ෂිකව වැය කරන මුදල ඉතා ඉහළයි. මේ ආකාරයට ණය වාරිකය ගෙවා ආනයනික ද්‍රව්‍ය ගෙන්වීමට නම් අපට ඩොලර් බිලියන 20 – 30ක හොඳ ආදායමක් තිබිය යුතුයි. හොඳ විදේශ වත්කම් සංචිතයක් තිබිය යුතුයි. ජීවන මට්ටම අතින් බංග්ලාදේශ ජනතාව අපට පහළින් සිටියත් ඔවුන්ගේ ද විදේශ වත්කම් සංචිතය ඩොලර් බිලියන 40කට අධිකයි. එවැනි තත්ත්වයක් අපට තිබුණා නම් මේ තත්ත්වය කළමනාකරණය කරගත හැකියි. අපට කවර කාලයකදීවත් එවැනි විදේශ වත්කම් සංචිතයක් තිබිලා නැහැ ණය සඳහා සහන කාල සියල්ල අවසන් වෙලා මේ අර්බුදයට මුහුණ දීමට අපට වෙලාවක් එනවා. දැන් පැමිණ ඇත්තේ ඒ වෙලාවයි. ඒ දිනය කලින්ම උදාවී තිබෙනවා.

‘පේන් කිලර් දීලා බැහැ’

දේශපාලන නායකත්වය, විද්වතුන් ඇතුළු මේ මුළුමහත් සමාජය මේ අනාගත අවදානම ගැන නොතකමින් ‘ණය අරන් කාලා බීලා ජොලියේ ඉන්න සංවර්ධන මොඩලයක්’ පවත්වාගෙන යමින් ආපු ගමන තමයි මෙසේ අභියෝගයට ලක්වී තිබෙන්නේ. තවමත් සමහරුන් කියනවා, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ වෙනත් ණය දෙන තැන්වලට ගියාම යළි ණය ලැබේවි. එතකොට අපට අර පුරුදු ගමන යන්න පුළුවන් වේවි’ කියා. ඒක හරියට ආර්ථීකය නැමැති ලෙඩා දැඩි සත්කාර ඒකකයේ සිටියදී, ‘ලෙඩේ සුව නොවුණාට කමක් නැහැ. ඔය පේන් කිලර් වගේ දෙයක් දීලා වාට්ටුවට දාන්න’ කියනවා වගේ වැඩක්. ඒ වගේ පේන් කිලර් එකක් දුන්නාම වේදනාව අඩු වේවි. ලෙඩා ගෙදරත් යාවි. නමුත් ඊළඟ වතාවේ ලෙඩේ උත්සන්න වෙන්නේ මරණීය අන්තරායක් සහිතවයි. මේ තත්ත්වයට පැලැස්තර විසඳුම් හෙව්වොත් මේ ආපු ගමනේ, සංවර්ධන මොඩලයේ, උපායමාර්ගික වැරැද්ද නිවැරදි කරගැනීමේ පැත්තට අපේ අවධානය යොමු නොවුණොත් මීට අදාළව මේ මොහොතේ පහළ විය යුතු ප්‍රඥාව අපි ළඟාකර නොගත්තා වෙනවා. අර්බුදකාරී අවස්ථාවකදී තමයි ප්‍රඥාවන්තයන් මතුවන්නේ. වෙනස් මගපෙන්වීම් ලැබෙන්නේ. මේකත් එහෙම අවස්ථාවක්. ඒ නිසා ‘පේන් කිලර්’ බීලා ලෙඩේ හොඳ කරගන්න දොස්තරලා ළඟ නතර නොවී, මේ අර්බුදයෙන් සම්පූර්ණයෙන් ගොඩඑන මාවතක් දෙසට අපේ රටේ ආර්ථික – සමාජ – දේශපාලන ගමන හරවා ගැනීම තමයි අප ඉදිරියේ තිබෙන එකම සහ අවසාන ප්‍රතිකර්මය වන්නේ.

‘දූෂණය බර අවියක් වූ සමාජයක්’

1977දී හඳුන්වා දුන් සංවර්ධන මොඩලයත් සමඟයි දූෂිත දේශපාලනය, දූෂිත රාජ්‍ය සේවය, දූෂිත සමාජය යන සියල්ලම පැවැත්මට ආවේ. ඊට පෙර වෙනත් සටන් පාඨ තිබුණත් දූෂණය කියන එක ප්‍රබලව දැකගත හැකිවූයේ නැහැ. ඒක 1977ට පෙර සැහැල්ලු අවියක්. 1977න් පසු බර අවියක්. මේ තත්ත්වය තුළ සමාජයේ ප්‍රමිතීන් හීන වූවා. ‘වයි ජෙනරේෂන්’ එකට නම් අන්තර්ජාලය පැමිණීමට ප්‍රථම පරම්පරාවේ බලපෑම තිබෙනවා. ඔවුන් 70 – 80 දශකවල ගීත අහනවා. ඊට පසුව ආ ජෙනරේෂන් එක අහන්නෙ රැප් ගීත. ඒ ගීත සාහිත්‍යය – ගීත කලාව තුළ හැදෙන මිනිසා සහ අප දැන් මේ ඇසුරු කරන මිනිසා දෙදෙනෙක්. මම මේ පෙන්වූයේ සමාජමය, සංස්කෘතිකමය වශයෙන් පෙනෙන වෙනස. 1977ට පෙර මත්ද්‍රව්‍ය භාවිතය මෙහෙම ඉහළ ගොස් තිබුණේ නැහැ. දැන් නාගරික තරුණ දියණියන් පවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබෙනවා. එය තමයි සමාජමය වශයෙන් ඇතිව තිබෙන පරිහානිය. 1977ට පෙර තිබූ රාජ්‍ය සේවයට වඩා 1977න් පසු රාජ්‍ය සේවය කාර්යක්ෂමතාවයෙන් අඩුද, වැඩිද? ජනතා සේවක ගුණයෙන් අඩු ද, වැඩි ද? අධිකරණයකට ගොස් පැය කිහිපයක කාලයක් නඩු කටයුතුවලට ඇහුම්කන් දුන්නා නම් සමාජය පිරිහීමට පත්ව ඇති ආකාරය වටහාගැනීමට පුළුවන්. නිදසුනක් ලෙස කොළඹ පිරිමි පාසලක පන්තියකට ගුරුතුමිය එන විට සියලුම ළමයි නිදි. හොයලා බැලුවාම මොනවද මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා. මේක මාධ්‍යයට යාමට නොදී විශාල තරවටුවක් කරලා යටගහගෙන තිබුණා. ඒ ආකාරයට සමාජයේ පිරිහීම කියාපාන එළියට නොපෙනෙන සිදුවීම් ඇති තරම් තිබෙනවා.

‘අර්බුදයෙන් ගොඩඑන්න අපට පුළුවන්ද?’

මේ වැරදි සමාජ ආර්ථික මොඩලය අතහැර නව සමාජ ආර්ථික මොඩලයක් අතැතිව මේ අර්බුදයෙන් ගොඩඑන්න අපට පුළුවන්ද? පුළුවන්. ආදිවාසී නායකයා පවසා තිබුණා ‘පාර්ලිමේන්තුවේ සිටින 225 මළකුණක් දිහා බලන් ඉන්න කපුටු රැලක් වගේ’ කියලා. කපුටා මළකුණ දිහා බලන් ඉන්නේ කෑල්ලක් කඩලා කන්න. 225 කියන්නේ අනෙක් අතට මේ රටේ දේශපාලන පක්ෂ නියෝජිතයින්නේ. ඇත්තෙන්ම මේ මොහොතේ මේ පක්ෂ වැඩි ප්‍රමාණයක් කටයුතු කරන්නේ වැදි නායකයා කී ආකාරයට තමයි. ‘මේ අර්බුදය ව්‍යසනයක් බවට පත්වෙලා අපට බලය ගන්න චාන්ස් එකක් ලැබේවි’ කියලා එක කට්ටියක් හිතනවා. තව කට්ටියක් ‘අපි අඩු ඡන්ද ප්‍රතිශතයක ඉන්නේ ඒක 50% දක්වා ඉහළ දමා ගන්න මේක හොද අවස්ථාව’ කියලා හිතනවා. සුමන්දිරන් හිතනවා ‘ෆෙඩරල් දිනා ගන්න මේක හොඳම වෙලාව’ කියා. දෙමළ ඩයස්පෝරාව හිතනවා ‘මේක ඊළම ගන්න හොඳම වෙලාව’ කියා. ඒ වගේම බෞද්ධ විරෝධී, නිරාගමික රැවුල්කාර මහත්වරුන් හිතනවා, ‘ශාසනයට, භික්ෂූත්වයට පහර දෙන්න මේක නියම වෙලාව’ කියා. මේ අවස්ථාව දෙස බලාගෙන ඉන්න එක එක අයට එක එක උවමනාවන් තිබෙනවා ඉටුකර ගැනීමට.

ඒ නිසා තමයි ගාලුමුවදොර, තරුණ පිරිස ආරම්භ කළ විරෝධතාවට එක එක ‘කාක්කෝ’ රිංගන්නේ. එදා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල තරුණයන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරලා මේ රටේ ඒකීයභාවය රැක දුන්නා. නමුත් දැන් ගාලුමුවදොර තිරවල වැටෙනවා ‘එක්සත් ශ්‍රී ලංකාව’ කියා. මේ එතනට රිංගපු කාක්කන් තම පටු අභිමතාර්ථ ඉටු කරගන්න දඟලන ආකාරයයි. මම දන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවට ගිය පිරිසට මෙහෙම කියවාගැනීමක් තිබෙනවාද, කියා. කෙසේ වෙතත් අපට තිබෙන අභියෝගය තමයි මේ අර්බුදයෙන් එළියට එන මාවත නිර්මාණය කර ගැනීම.

‘ආර්ථිකයේ හිල් වැසීම’

ආර්ථික කළමනාකරණය කියන්නේ ලැබෙන මුදල් ප්‍රතිඵල ගෙනෙන දේවල්වලට යෙදවීමයි. දේශපාලන නායකත්වය හා සමාජය එක පළල් චින්තනයකින් බැඳී ආදර්ශවත්ව කටයුතු කිරීමෙන් තමයි ලෝකයේ දියුණු වූ සෑම රටක්ම දියුණු වී ඇත්තේ. මේ පරාධීන ආර්ථික මොඩලයෙන් එළියට එන අවස්ථාව බවට මේ අර්බුදය පත් කර ගන්නේ කෙසේද? එළියට එනවා කියන්නේ කුමක්ද? මුලින්ම කරන්න ඕනේ අපේ ආර්ථිකයේ තිබෙන හිල් වහන එක. ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයවත් රැකගන්න බැරි හිල් ගොඩක් අපේ ආර්ථිකයේ තිබෙනවා. පළමුව කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එක නොවෙයි, මේ හිල් ටික වහන එක. අනුන්ගෙන් විදේශ විනිමය ඉල්ලන්න කලින් අපේ අතට එන විදේශ විනිමය ප්‍රමාණය රැකගත යුතුයි. දැනට පවතින විදේශ විනිමය පනත ඉතාම අකාර්යක්ෂම, මේ අර්බුදය උත්සන්න කිරීමට දායක වූ පනතක්. 1977ට පෙර අපනයනයෙන් ලද විදේශ විනිමය ප්‍රමාණය මාස තුනක් ඇතුළත මේ රටට රැගෙන ආ යුතු බවට නීතිමය ප්‍රතිපාදන තිබුණා. එහෙම කළාට පසුව තමයි ඊළඟ නිෂ්පාදන තොගය අපනයනය සඳහා අවස්ථාව උදාවූයේ. එමගින් උපයන ලද විදේශ විනිමය ප්‍රමාණය පිටරටවල ‘පාක් කිරීමට’ ඉඩ ලැබුණේ නැහැ. 1977න් පසු මේ නීතිමය ප්‍රතිපාදන ක්‍රම ක්‍රමයෙන් ලිහිල් වෙනවා ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන ගිණුමත් විවෘත කරනවා. නමුත් ඉන්දියාවේ පමණක් නොවෙයි බංග්ලාදේශයේ ද ප්‍රාග්ධන ගිණුම තවමත් සංවෘතයි. ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ විදේශ වත්කම් සංචිත ශක්තිමත් වීමට ඒකත් එක හේතුවක්.

‘රවීටත් මතක නැහැ’

ඒ නිසා මෙන්න මේ විදේශ විනිමය පනත සංශෝධනය කරලා අපනයනයෙන් පමණක් නොවෙයි අප උපයන සෑම විදේශ විනිමයක්ම නිශ්චිත කලක් තුළ නීත්‍යනුකූල මාර්ගයෙන් රට තුළට රැගෙන ඒම අනිවාර්ය කළ යුතුයි. මට මතකයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එක වතාවක් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ නඩුවක් පැවරුණා. ඒ කාලයේ කවුරු ඩොලර් ගනුදෙනුවක් කළත් එය මහ බැංකුවට දැනගැනීමට හැකි නීතිමය ප්‍රතිපාදන තිබුණා. රවී කරුණානායක මහතා ඒ හින්දම මුදල් අමාත්‍ය ධුරයට පත් වුණාට පසුව කළේ මහ බැංකුව නොදැන ඩොලර් සංසරණය වීමේ ඉඩකඩ හැදීම. ඔහු විදේශ විනිමය පනත තවදුරටත් ලිහිල් කළා. පාස්කු ප්‍රහාරයෙන් පසුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා ඉස්ලාම් අන්තවාදය පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් ලබා දීමට. රවී කරුණානායක මහතා ද එහි සාමාජිකයෙක් ලෙස කටයුතු කළා. එම තේරීම් කාරක සභාව එවකට මහ බැංකු අධිපතිවරයා කැඳවා තිබුණා ‘ෂරියා විශ්වවිද්‍යාලයට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව විමසීමට’. එහිදී රවී කරුණානායක මහතා මහ බැංකු අධිපතිවරයාගෙන් විමසනවා ‘ඇයි මහ බැංකුව දන්නෙ නැද්ද මේ සල්ලි ආපු විදිහ?’ කියා. එවිට මහ බැංකු අධිපතිවරයා හිනාවෙලා කියනවා ‘නැහැ සර්. දැන් මහ බැංකුවට ඒ බලය නැහැ. සර් මුදල් ඇමති ධුරය දරපු කාලයේ එම නීතිමය ප්‍රතිපාදන ඉවත් කළා නේ’ කියා.රවී කරුණානායකට ඒ කරපු දේ මතකත් නැහැ. ඒ වගේ බඩු ටිකක් එක්ක ආපු ගමනක් ඇතුළෙ මේ රට මේ විදිහේ අර්බුදයකට මුහුණ දීම ගැන එතරම් පුදුම විය යුතු නැහැ.

උන්ඩියල් වැනි නීත්‍යනුකූල නොවන විදේශ විනිමය ගනුදෙනු නතර කිරීමට කිසිදු පියවරක් නොගන්නා විට හිතෙනවා, ‘කළු මුදල් වෙළඳපොළේ සමහර මැති ඇමතිවරුන්ගේ මුදල් ද උන්ඩියල් වෙලා ඇති’ කියා, ඇතැමුන් කියන කතාවල යම් සත්‍යයක් තිබෙනවා කියා. දැන් බලන්න ලස්සනම වැඩේ. බැංකුවේ ඩොලර් නැහැ. කළු මුදල් වෙළඳපොළේ ඩොලර් තිබෙනවා. ඩොලර් බිලියනයක් වුවත් ඔවුන් කියන පොලියට ගන්න පුළුවන්. අද නීත්‍යනුකූල මාර්ගයේ ගඟ සිඳිලා, නීති විරෝධී මාර්ගයේ ගඟ පළල් වෙලා. එතකොට කොහොමද රටක විදේශ විනිමය කළමනාකරණය කරන්නේ? නීති විරෝධී මාර්ගයේ ගඟයි සිදෙන්න ඕනෑ. නමුත් ඒකේ අනෙක් පැත්තයි සිදුව ඇත්තේ. අද රටට සල්ලි නැහැ. කළු සල්ලි වෙළඳපොලේ සල්ලි තිබෙනවා. හිටපු මුදල් ඇමති, ද්විත්ව පුරවැසියා දිවයින පුවත්පත සමඟ පැවැති සාකච්ඡාවේදී කියනවා, ‘උන්ඩියල් මාකට් එක තිබුණට කමක් නැහැ. ඒ කළු මුදල් වෙළෙඳපොළ මගින් යුද්ධ කාලේ අපි අරවා මේවා කළා. උතුරු කොරියාවෙන් ආයුධ ගත්තා’ කියා. වෙන අයෙක් මෙහෙම ප්‍රකාශ කළා නම් ඇමෙරිකාව කිපිලා ලොකු නැටුමක් නටනවා. නමුත් මෙහිදී එහෙම දෙයක් වුණේ නැහැ. ‘ද්විත්ව’ හින්දා වෙන්න ඇති. කළු සල්ලි වෙළඳපොළට මේ විදිහේ පිළිගැනීමක් දෙන්නේ මේ කාගේ හරි මුදල් එතැන තිබෙන හින්දයි. ලෝකයේ මොන මුදල් ඇමති ද කළු සල්ලි වෙළඳපොළට එහෙම වටිනාකමක් දෙන්නෙ? කළු සල්ලි වෙළෙඳපොළ හුරතල් කරමින් නීත්‍යනුකූල මුදල් වෙළෙඳපොළ සක්‍රිය කිරීමට බැහැ. මෙතෙක් කලක් මේ රට රැගෙනවිත් තිබෙන්නේ රටට ලැබුණු විදේශ විනිමය ප්‍රමාණයවත් කළමනාකරණය කරගන්නා මාර්ගයක නොවෙයි කියා පෙනෙනවා.

‘විවෘත ගිණුම් ක්‍රමය’

ඊළඟට අපි දන්නවා දැනට ක්‍රියාත්මක විවෘත ගිණුම් ක්‍රමය (Open Account System) පිළිබඳව. එමගින් ආනයනයේදී විශාල වශයෙන් විනිමය අවභාවිතා වෙනවා. එතැනට උන්ඩියල් වැනි ක්‍රම පැමිණෙනවා. ඒ නිසා නව නීති ප්‍රතිපාදන, කොන්දේසි යටතේ විවෘත ගිණුම් ක්‍රමය සමීපව අධීක්ෂණය කිරීමත් මෙහිදී සිදුවිය යුතුයි. අපි දන්නවා සිංගප්පූරුව වැනි රටවල නිදහස් වරාය ක්‍රමයක් (Free Port System) තිබෙනවා. එය රේගුවේ අධීක්ෂණයට හා පාලනයට යටත්. නමුත් අපේ රටේ තිබෙන නිදහස් වරාය ක්‍රමය සිංගප්පූරුවේ තිබෙන නිදහස් වරාය ක්‍රමය වගේ නොවෙයි. එහි තිබෙන බදු නිදහස් ක්‍රමයේ දැඩි අධීක්ෂණයක් නැහැ. ඒ නිසා ජාවාරම්කරුවන්ට එය ඔවුන්ගේ වාසියට යොදාගන්න පුළුවන් වෙලා තිබෙනවා. මේ වරද අපි නිවැරදි කළ යුතුයි.

‘ගුදම් පහසුකම් පාලනය’

මේ සියල්ලටම අදාළ වෙනස්කම් සිදු කරමින් යාමේදී තවත් අපේ අවධානයට යොමු විය යුතු දෙයක් තමයි වරාය ආශ්‍රිතව පවත්වාගෙන යන ඉතා විශාල ගුදම් පහසුකම් පාලනයට වැඩපිළිවෙලක් සකස් කිරීම. අර සීනි බදු වංචාවට අදාළ ව්‍යාපාරිකයා බදු අඩු කළ ගමන් ඔහුට ලබාදී ඇති ගුදම්වල සීනි ටොන් ගණනක් ගොඩගහගෙන තිබුණා. බදු වැඩි කළ ගමන් ඔහු ඒ ගුදම්වල සීනි විකුණා අතිරේක ලාභයකුත් ලබාගෙන තිබුණා. ඒ ගුදම් පහසුකම පාවිච්චි වෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළ පාලනයට, අයථා ලාභයක් ලැබීමට. එනිසා මේ ඉතා විශාල ගුදම් පහසුකම් පාලනයත් අත්‍යවශ්‍ය දෙයක්. නැත්තම් මේ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළ පාලනයට බලයට එන ආණ්ඩුවට කිසිම ‘ටූල් එකක්’ නැති වෙනවා. තොග මේ විදිහට කවුරුහරි ළඟ තිබෙන කොට පාරිභෝගික කටයුතු අධිකාරිය ගහන ගැසට්වලින් වැඩක් වෙන්නෙ නැහැ.

‘අවුරුදු 02කට තාර ගෙනත්’

පසුගිය කාලයේ කීවානේ බොහෝ ආනයනික භාණ්ඩ සීමා කළා කියලා. නමුත් එම කාලයේ තමයි තිබෙන්නේ මෙරටට වැඩිම ආනයනය කරපු මාසය. 2021 නොවැම්බර් මාසේ තමයි ලංකා ඉතිහාසයේ වැඩිම ආනයනික වියදම සටහන් වෙන්නේ. ඒ මාසේ අවුරුදු 02කට සෑහෙන්න තාර ගෙනත්. තාර විතරක් නොවෙයි ඒ විදිහට බොහෝ දේ ගෙනැවිත්. බලන්න රුපියල වැටෙනවා. මේ ආනයනික සීමා යටතේ ගෙනාපු දේවල් හිඟ වෙනවා. අවසානයේ දී ආනයනකරුවාට අසීමිත ලාභයක් උපයන්න මග පෑදෙනවා. දැන් ක්‍රියාත්මක විදේශ විනිමය පනතේ තිබෙනවා, අපනයනකරු තමන්ගේ අපනයන ආදායම වසරක් ඇතුළත රට තුළට ගෙන ආ යුතුයි කියලා. නමුත් වසරක් ඇතුළත එසේ විදේශ විනිමය රට තුළට නොගෙනාවොත් දෙන දඬුවම කිසිම තැනක සඳහන්ව නැහැ. එහිදී මහ බැංකුවට හෝ ආනයන අපනයන පාලකට ගතහැකි ක්‍රියාමාර්ග සටහන්ව නැහැ. අපේ රටට ලැබෙන්න තිබෙන විදේශ විනිමය ප්‍රමාණය හෝ නොලැබී යාමට මේක ප්‍රධාන හේතුවක්.

‘අවිචාර ගමනේ තවත් වරදක්’

ඒ නිසා මේ හිල් ටික වහගන්නේ නැතිව අපට මේ විදේශ විනිමය අර්බුදයෙන් එළියට එන්න බැහැ. දැන් බලන්න 2020ට සාපේක්ෂව 2021දී අපනයන ආදායම 16.71% කින් වැඩි වී තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 1125.69කින් වැඩි වී තිබෙනවා. ඇඟලුම්වලින් ලද අපනයන ආදායම 2020ට සාපේක්ෂව 52.8%කින් වැඩි වී තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 496.4කින් වැඩි වී තිබෙනවා. 2022 ජනවාරියේ අපනයන ආදායම ඩොලර් මිලියන 1101කින් ඉහළ ගිහිල්ලා. නමුත් මේ මුදල් රට තුළට ඇවිල්ලා ද? කොටසක් එන්න ඇති. නමුත් අතිවිශාල පංගුවක් ඇවිත් නැහැ. ඇතැම් මහා පරිමාණ තේ අපනයන සමාගම් අයිතිකරුවන් ඒ අය තේවලින් ලබන ඩොලර් ආදායම, මේ රටේ යමෙකුට අවශ්‍ය නම් අමුද්‍රව්‍යයක් ගෙන්වාගැනීමට, ඒ කටයුත්තට වියදම් කරනවා. එහිදී එම ඩොලර්වලට වෙළඳපොළ මිලට වඩා රුපියලක් දෙකක් වැඩිපුර අය කරනවා. මෙහේ ඉන්න කෙනා, ණයවර ලිපි විවෘත කරවාගන්නත් බැරි නිසා ඒ තේ අපනයනකරුගේ යෝජනාවට එකඟ වෙනවා. ඒක අවභාවිතයක්. තේවලින් ඉපැයූ මුදල් මේ රටට එන්න ඕනේ. තේ අපනයනයෙන් ඉපයූ මුදලින් යකඩ, රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට බැහැ. තේ කර්මාන්තයට අවශ්‍ය දෙයක් ගත්තට අනෙක් කර්මාන්තවලට අවශ්‍ය දේවල් එම අපනයන ආදායමෙන් අරන් දෙන්න බැහැ. ඒ අනුව පෙනී යන්නේ මේ රටට නීතියක් නැතිව අවිචාරවත්ව ගමනක් ගිය බව නේද? මේ සියල්ල නිසා තමයි මේ ආර්ථික අර්බුදය මේ තරම් උග්‍ර අන්දමින් අපට හමුවන්නේ.

‘පුරෝකථනයන් නැහැ’

රටක පමණක් නොවෙයි යම් සමාගමක පවා යන ගමන පිළිබඳව ආර්ථික විද්‍යාඥයන්ට පුරෝකථනයන්

ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. නමුත් අපේ රටේ එහෙම පුරෝකථනයක් තිබිලා නැහැ. අන්ධයන් වගේ ඇවිල්ලා. එහෙම පුරෝකතනයක් ඉදිරිපත් කළ අයටත් ඇහුම්කන් දීලා නැහැ. අර්බුදයේ ගොදුරක් බවට පත් වන තෙක් සංවාදයක් ඇති නොවුණේ ඒ නිසයි. මේක තමයි අපට ආණ්ඩුවත් සමග තිබුණු ගැටුම. පසුගිය අවුරුදු දෙක පුරාම අපි ආණ්ඩුව තුළ සිටිමින් මේ අවදානම පෙන්වා දුන්නා. ‘මේ අර්බුදය ව්‍යසනයක් දක්වා වැඩෙන තෙක් බලා ඉන්න එපා!’ කියා ඉල්ලුවා. මා ඉහත කී පෙර ක්‍රියාමාර්ග ගන්න කියා ඉල්ලුවා. විදේශ විනිමය පනත සංශෝධනය ඇතුළු ඒ පියවරයන් මීට වසර දෙකකට කලින් ගත්තා නම් ආර්ථිකය, දැඩි සත්කාර ඒකකයට නොයවා බේරගන්න තිබුණා. නමුත් හිතාමතාම එදා ඒ ගතයුතු පියවර ගත්තේ නැහැ. ඒ හිටපු මුදල් ඇමතිවරයාට අවශ්‍ය වුණේ මේ අර්බුදය උත්සන්න වෙන්න ඉඩ හැරීමට. ඔහු හිතුවා, එමගින් ඔටුන්න දාගත්තු කෙනාගෙන් ඔටුන්න අරගෙන තමන්ගේ ඔලුවට දාගන්න පුළුවන් වේවි, කියලා. එයා අරයාගෙ ඔටුන්න තමන්ගේ ඔළුවට දාගන්න ගිහිල්ලා අන්තිමේදී එයාට මහමගත් නැති වුණා. (එයා අපට කිව්වේ ‘හරි මග හොයන්න ගිහිල්ල අපි මාර්තු 03 වැනිදා මහමගට වැටුණා කියලයි)

‘විදෙස්ගත අර්ථපතීන් සහ ශ්‍රමිකයන් වෙත’

ඒ වගේම අපගේ අවධානය යොමුවිය යුතුයි විදෙස්ගත ශ්‍රී ලාංකික අර්ථපතීන් සහ ශ්‍රමිකයන් වෙත. ඔවුන්ට අපි විශේෂ දිරිගැන්වීම් දිය යුතුයි. ඔවුන් මේ රටේ ඩොලර් බැඳුම්කර මිලදී ගන්නවා නම්, ඩොලර්වලින් ස්ථිර තැන්පතු සිදු කරනවා නම්, අපි අවම වශයෙන් එවැනි අයට තීරු බදු රහිතව හෝ තීරු බදු සහනයක් සහිතව හෝ මේ රටට වාහනයක් ගෙන ඒමට අවස්ථාව සලසා දිය යුතුයි. ගෙවනු ලබන සුළු තීරු බදු ප්‍රමාණයත් විදේශ විනිමයවලින් ගෙවන්න අවස්ථාව සලසා දිය යුතුයි. මේ අර්ථපතීන් සහ ශ්‍රමිකයන් කොතරම් කාලයක් විදෙස්ගතව ජීවත් වුවත් ඔවුන් උදෑසන අවදි වූ වහාම අන්තර්ජාලයෙන් බලන්නේ ලංකාවේ මොකද වෙන්නේ, කියලා. ඔවුන්ගේ මුදුන්මුල් තවමත් තිබෙන්නේ මේ රටේ. ඔවුන්ට අවශ්‍යයි තමන්ගේ රට ගැන තිබෙන හැඟීම අනුව කටයුතු කරන්න. හැබැයි ඒකට විශ්වාසනීය වටපිටාවක් අවශ්‍යයි. තමන්ගේ රටේ ඉන්න පාලකයෝ දූෂිත නම්, මහජනයාට තිබෙන වේදනාව නොතකනවා නම් එවිට විදෙස්ගත ප්‍රජාවට තම වගකීම ඉටු කිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. නමුත් එම තත්වය වෙනස් වෙනවා කියලා පෙනෙනවා නම් ඔවුන් රට වෙනුවෙන් තමන්ට පැවරෙන වගකීම ඉටු කිරීමට මැලි වන්නේ නැහැ. ආර්ථිකයේ හිල් වසමින්, මෙවැනි ඉඩප්‍රස්ථා නිර්මාණය කරගනිමින් තමයි අප ඉදිරියට යා යුත්තේ. එහෙම නැතිව, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාම ඔක්කොම හරි’ කියන්න මානසිකත්වයෙන් මිදිලයි අප කටයුතු කළ යුත්තේ.

‘අපනයනකරුවන්ගේ ගැටළු’

ඒ විතරක් නෙවෙයි විශ්වාසනීය වටපිටාවක් හැදුවාට පසුව අපට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන් ‘රට වෙනුවෙන් සේවයක් සේ සලකා ඔබේ විදේශ විනිමය ගනුදෙනු බැංකු මගින් පමණක් සිදුකරන්න’ කියලා. අදාළ විශ්වාසනීය වටපිටාව හැදුවාම අපට නම් කිසිදු සැකයක් නැහැ ඔවුන් උන්ඩියල්වලින් ලැබෙන තුට්ටු දෙක නොසලකා රට වෙනුවෙන් කළ හැකි සේවය සිදුකරන බවට. එමෙන්ම රටට විදේශ විනිමය ගෙන එන අපනයනකරුවන්ට ද දිරිදෙන ආයතනික ව්‍යුහයක් සැකසිය යුතුව තිබෙනවා. ඒ වගේම අපනයනය මුල්කරගත් නිෂ්පාදන කර්මාන්තයන්ට දිරිදෙන යාන්ත්‍රණයක් ද සැකසිය යුතුව තිබෙනවා.

‘යළි ස්ථානගත කළ යුතු සංචාරක ව්‍යාපාරය’

ඒ වගේම අපේ සංචාරක ව්‍යාපාරය යළි ස්ථානගත කළ යුතුව තිබෙනවා. මට මෙහිදී සිහිපත් වෙනවා, කටුනායක ගුවන් තොටුපලේ මුදල් මාරු කරන ස්ථානයකදී සිදු වූ එක්තරා සිදුවීමක්. මමත් විදෙස්ගත වීමට පෙර රුපියල් ඩොලර් කරගැනීම සඳහා එම ස්ථානයට ගියා. එතන හිටපු තරුණයා කියනවා, ‘දැන් ලංකාවෙන් පිටත්ව යන්න ආපු සංචාරක පවුලක් රුපියල් ලක්ෂ 15ක මුදලක් ඩොලර්වලට මාරු කරගෙන ගියා’ කියා. එම සංචාරක පවුල ශ්‍රී ලංකාවට එන්න ඇත්තේ ඒ රුපියල් ලක්ෂ 15වත් වියදම් කරන්න බලාගෙන. ඒකනෙ ඩොලර්වලින් රුපියල්වලට එම මුදල මාරු කරගන්න හිතුණේ. නමුත් ඔවුන්ට එම මුදල් වියදම් කිරීමට අවස්ථාව ලැබී නැහැ. වියදම් කිරීමට ඇති අවස්ථා අර්ථවත් ලෙස වැඩි කළ යුතුයි. මාලදිවයින දෙස බලන්න තිබෙන්නේ වැල්ලයි, මුහුදයි, කොරල්පරයි විතරයි. හැබැයි මාලදිවයිනට යනවා දැවැන්ත සංචාරකයන් ප්‍රමාණයක්. නමුත් ලංකාවේ තිබෙනවා කඳුකරය, ඓතිහාසික උරුමයන්, දේශගුණික විවිධත්වය, ජෛව විවිධත්වය, මාලදිවයිනට තිබෙන දේවල්වලට අමතරව. නමුත් කෝවිඩ් වසංගත කාලයේ පවා සංචාරකයන් ලංකාවට එන්නේ නැතිව මාලදිවයිනට ගියා. අපේ සංචාරක ව්‍යාපාරය ඉතා දුප්පත් විදිහට පවත්වාගෙන එන සංචාරක ව්‍යාපාරයක්. අපි අලුතින් හිතන්න ඕනේ. අපේ දේශීය වෙදකම සංචාරකයන් අද්දවා ගන්න පුළුවන් මහා සම්පතක්. මේ සියලු සම්පත් නිසි පරිදි යොදා ගත් මහා මෙහෙයුමක් අවශ්‍යයි සංචාරක ව්‍යාපාරයෙන් නිසි පරිදි විදේශ විනිමය උපද්දවා ගැනීමට. විදේශ රැකියා වෙළෙඳපොළ මීට වඩා සක්‍රීය කර ගැනීමත් ජාතික ආර්ථිකයට උත්තේජනයක් ලැබෙන පරිදි අපේ බදු ප්‍රතිපත්තිය වෙනස් විම සිදු විය යුතුයි. එහිදී ජාවාරම්කරුවන්ට රිංගන්න තිබෙන හිල් වසා දැමිය යුතුයි. ඒ වගේම දේශීය නිෂ්පාදන කර්මාන්ත පද්ධතිය සවිබලගැන්විය යුතුයි. එවැනි මෙහෙයුමකින් තමයි අපට මේ අර්බුදයෙන් ගොඩඒමට හැකි වන්නේ.

අද තිබෙන ප්‍රධානතම ගැටළුවක් තමයි ජනතාව තුළ විශ්වාසය ගොඩනැගීම. අපේ රටේ දූ දරුවෝ අද සමස්ත දේශපාලකයන් දෙස බලන්නේ දූෂිතයෙක් දෙස බලන ආකාරයට. පාර්ලිමේන්තුවේ 225ම දෙස බලන්නෙත් ඒ ආකාරයට. දේශපාලනඥයාගේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තිබෙනවා. සමහර විට දේශපාලනඥයන්ට වඩා දූෂිතයන් ඉන්න පුළුවන් නිලධාරිතන්ත්‍රය ඇතුළෙ. නමුත් ඔවුන් සම්බන්ධයෙන් නම් එවැනි ආකල්පයක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. මම දැක්කා හිටපු ඉහළම රාජ්‍ය නිලධාරියෙක් ‘මට දුන්නොත් රට හදනවා. අරවා කරනවා, මේවා කරනවා’ කියා පවසනවා. නමුත් ඔහු තනතුරේ සිටින කාලේ හොඳම ‘මාටියා පාර’ ගිය කෙනෙක්. දැන් එහෙම අය එනවා. බලන්න එදා ගාලුමුවදොර විරෝධතාවට එක් වුණු පොලිස් නිලධාරියා ගැන. එයා ගංජා කිලෝග්‍රෑම් ගණනක් ප්‍රවාහනය කරලා හසුවූ අයෙක්. දෙවතාවක් වැඩ තහනම් වෙලා, විනය විරෝධී, රාජකාරිය පැහැරහැරීමේ චෝදනා තිබුණු කෙනෙක්. ඉදිරියේදී පොලිස් සේවයෙන් නෙරපා හරින්න නියමිතව සිටි කෙනෙක්. එයා ආවා ගෝල්ෆේස්, ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශයක් කළා. ‘ජාතික වීරයෙක්’ වුණා.

‘දේශපාලනඥයා සහ රාජ්‍ය නිලධාරිතන්ත්‍රය පවිත්‍රකරණය’

කෙසේ වෙතත් මේ දේශපාලනඥයා පිළිබඳව තිබෙන ප්‍රතිරූපය වෙනස් වෙන්න ඕනේ. ජනාධිපතිවරයාගේ සිට පහළම රාජ්‍ය නිලධාරියා දක්වා විගණනය සිදුවිය යුතුයි. එය විතරක් මදි. දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරිතන්ත්‍රය පවිත්‍රකරණයට අවශ්‍ය නීතිරිති සැකසිය යුතුයි. එමගින් ඔවුනට දූෂණයකට යෑමට තිබෙන ඉඩකඩ ඇහිරිය යුතුයි. මේ රටේ විද්වතුන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් මේ පිළිබඳව ලැබී තිබෙන සාර්ථකම යෝජනා ටික අරගෙන ඉහත කී නීතිරීති සකසා ඒවා ක්‍රියාත්මක තලයට ගෙන ආ යුතුයි. එමගින් තමයි නූතන තරුණ පරම්පරාවේ විශ්වාසනීයත්වය ඇතිඃකර ගන්න පුළුවන් වෙන්නේ. අර පරණ දේශපාලනඥයාට මෙතනින් එහාට ගමනක් නැහැ. පරණ දේශපාලනඥයාට මේ සමාජයේ ඇති වී තිබෙන පරිණාමය තේරෙන්නෙත් නැහැ. ඒ නිසා බලය පෙන්වන දේශපාලනඥයා වෙනුවට බලය නොපෙන්වන දේශපාලනඥයා, බලය රස වැටුණු දේශපාලනඥයා වෙනුවට බලය උපේක්ෂාවෙන් භුක්ති විඳින දේශපාලනඥයා, බලයෙන් මත් වුණු දේශපාලනඥයා වෙනුවට උපේක්ෂාවෙන් බලය යොදා ගන්නා දේශපාලනඥයා, නිර්මාණය කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිසංස්කරණ සහ සමාජ සංස්කෘතික මතවාදී ක්‍රියාකාරකම් අපි මේ මහ පොළොව තුළ බලගැන්විය යුතුයි.

‘අල්ලස් හෝ දූෂණ කොමිසම බලගැන්වීම’

පසුගිය කාලයේ සිදුව ඇති සීනි බදු වංචා වැනි මහා පරිමාණ දූෂණ පිළිබඳව සෙවීමට මුලින්ම ජනාධිපති කොමිසමක් දමලා ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර අදාළ දූෂිතයන්ට විරුද්ධව නඩු පැවරීම කළ යුතුයි. ඒ වගේම පසුගිය කාලයේ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ජනාධිපති කොමිසමේ වාර්තාව තිබෙනවා. නමුත් ජනාධිපති කොමිෂන් වාර්තාවක් තිබුණු පලියට අධිකරණයට ක්‍රියාත්මක වීමට බැහැ. ඒ නිසා එම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන් අධිකරණය හමුවේ සාක්ෂිවලට අවශ්‍ය දෙයක් හැටියට පිළිඅරන්, එතැන් සිට නඩු විභාගය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නෛතික ප්‍රතිසංස්කරණයන් ගෙන ආ යුතුයි. එමඟින් තමයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට වටිනාකමක් එකතු කළ හැක්කේ. එසේ කළහොත් පමණයි, යමෙක් අල්ලස් හෝ දූෂණ චෝදනාවන්ට අදාළ වන වරදක් කිරීමට පෙර දෙතුන් වතාවක් හිතන්නේ.

‘රෙද්ද අස්සෙ මහත්තුරු’

අපට සුද්දා දීලා ගිය මහා හීනමානයක් තිබෙනවා. ඔබ දන්නවා මීට බොහෝ කලකට පෙර ‘රෙද්ද අස්සේ මහත්තයා’ කියා කෙනෙකුත් සිටියා. කලිසම ඇන්දාම ‘මහත්තයා’ කිව්වා. රෙද්ද යටින් කලිසම ඇන්දාම ‘රෙද්ද අස්සේ මහත්තයා’ කීවා. නමුත් සරම ඇන්දාම මොකුත් කීවේ නැහැ. ‘කැඳ බිව්වොත් නිදිමතයි.’ කිව්වා. ‘සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා’ කිව්වා. මේ විදිහට අපේ වටිනාකම් පද්ධතියට සියුම් ලෙස පහර දී තිබෙනවා. අපිව අපේ අනන්‍ය මුල්වලින් ගලවලා තිබෙනවා. දැන් අපට කිරිපිටි නැතිව නින්ද යන්නේ නැහැ. සුද්දෝ එන්න කලින් අපි කිරිපිටි බීපු ජාතියක් ද? ඊට කලින් අපි හිටියේ හාමතේ ද? අපිව ඇතැම් දේවලට තදින් ඇබ්බැහි කරලා තිබෙනවා. අපි පාසල් යන කාලයේ ‘ඇදිහැස බිස්කට් ආවා’ ඒක නොමිලේ දුන්නා. ඒකට අපේ දිව හුරු වුණා. ඊට පසු බිස්කට් සල්ලි දීලා කන්න පුරුදු වුණා.

‘දෙමුහුන්කරණයට ලක් වීම’

බොහෝ ජාතීන් තම අනන්‍ය ලක්ෂණ බොහෝ දුරට රැකගෙන සිටිනවා. ජපන් ජාතිකයා දෙස බලන්න. ඔවුන්ගේ කෑම බීම, ඇඳුම් පැළඳුම්, ආචාර සමාචාර විධි තුළ ‘ජපනා’ ඉන්නවා. නමුත් අප තුළ අනන්‍ය ලක්ෂණවලට වඩා අනන්‍ය නොවන ලක්ෂණ තිබෙනවා. පොඩි යුරෝපා දෙමුහුන්කරණයකට ලක්වීමක් තිබෙනවා. ඒ දෙමුහුන්කරණය නිසා අපේ ජීවන රටාව, අපේ සමාජ – ආර්ථික රටාවට ඔරොත්තු නොදෙන තත්වයකට පත්ව තිබෙනවා. ඒ නිසා අද සමාජීය වෙනසක් ද අවශ්‍යව තිබෙනවා. මේ සමාජ – ආර්ථික මොඩලයෙන් එළියට ඒමට සමාජීය වෙනසක් නැතිව බැහැ. අනාගත පරපුරටත් ආදරයෙන් වැළඳගත හැකි ජීවන රටාවකට මේ පොළොව රැගෙන යා යුතු නැද්ද? ඒ පරිවර්තනය සඳහා වන මොහොත බවටත් මේ අර්බුදකාරී අවස්ථාව යොදා ගත යුතුයි.

පසුගිය කාලය පුරා අවස්ථා දෙකකදී හැර මේ රටේ පාලන සුක්කානම හිමිකර ගත්තේ ඉහත කී ‘රෙද්ද අස්සේ මහත්වරුන්ගෙන්’ පැවත එන රදළ, වංශවත් පරම්පරාවන් විසින්. ඒ නිසා දැන් අවස්ථාව තිබෙනවා ඒ රෙද්ද අස්සේ මහත්වරුන්ගේ පරම්පරාවන්ගෙන් පැවත නොඑන, මේ මහපොළොවත් සමඟ ඓන්ද්‍රීයව බැඳුණු, මේ මහා සංස්කෘතික සාරය මත පදනම් වුණු නායකත්වයක් සමඟ මේ රට හරි මගට ගෙන යාමට. රෙද්ද අස්සේ මහත්වරුන්ගේ පරම්පරාවන්ගෙන් පැවත ආ නායකත්වයන් පාලන සුක්කානම හරියට හැසිරුවා නම් මේ රට මේ අර්බුදකාරී තත්ත්වයට වැටෙන්නේ නැති බවත් අපි මෙහිදී සිහිපත් කළ යුතුයි. මේ සියලු ප්‍රතිසංස්කරණ සිදු වන අතරේ තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුවිය යුත්තේ. මූල්‍ය අරමුදල හෝ වෙනත් එවැනි ආයතනයක සහාය ඊට ලබා ගත යුතුයි. කාගෙන් සහය ගත්තත් මේ රටට දීර්ඝකාලීන විපත්තිකාර ලෙස බලපාන කොන්දේසිවලට එකඟ නොවිය යුතුයි. අපි ඉහත කී මහා සැලැස්ම ක්‍රියාවට නංවාගෙන, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සිදු කරගෙන ඉදිරියට ගියොත් අපිට කෙටි කාලයකදී මේ අර්බුදයෙන් රට ගොඩගත හැකියි.

‘සමාජ ස්ථාවරභාවය’

ඒ දේ කරන්න පුළුවන්. ඒ දේ කිරීමට සමාජ ස්ථාවරභාවය අවශ්‍යයි. ඊයේ රඹුක්කනදී පොලිස් වෙඩි පහරින් තරුණයෙකු මියගොස් තිබෙනවා. මේ රටේ දරුවෝ, මේ අර්බුදය හමුවේ ඇති කරන විරෝධතා හේතුවෙන් මැරුම්කන්න ඕනේ දරුවෝ නොවෙයි. අර්බුදය හේතුවෙන් පීඩාවට පත්වෙලා පාරට එන මිනිසා නොවෙයි මැරුම්කන්න ඕනේ. (මම ඉතිරි ටික කියන්නේ නැහැ) සමාජ ස්ථාවරත්වය හදන්න නම් දේශපාලන ස්ථාවරභාවය හදන්න ඕනේ. අර්බුදය විසින් ආණ්ඩුව පෙරළුවාට කමක් නැහැ. අර්බුදය විසින් රාජ්‍යය බිඳවට්ටන තෙක් බලා සිටිය හැකිද? සමහර අර්බුද තිබෙනවා පාලන ළතන්ත්‍රය වෙනස්වීමක් පමණක් නොවෙයි රාජ්‍යය අහිමි වීම දක්වා ගමන් කරන. ලිබියාවේ ආවේ ගඩාෆිගේ පාලනතන්ත්‍රයට එරෙහි විරෝධයක්. නමුත් එය අවසන් වූයේ ලිබියාව නැමැති රාජ්‍යය ලිබියානුවන්ට අහිමි කරමින්. අද ලිබියාව කියා රටක් තිබුණාට රාජ්‍යයක් නැහැ. ඒක දැන් පිස්සන් කොටුවක්. සුවපහසු ජීවිත ගත කරපු ලිබියානුවන් අද යුරෝපයට යනවා සරණාගතයන් ලෙස හිඟා කන්න. ඉරාකයේ සිදුවූයේත් එයමයි.

‘අමතක කරන්න එපා!’

අමතක කරන්න එපා, අපේ රටේ ආර්ථිකය බිඳවැටීමට ස්වාභාවික ආපදාවලින් ඇති වූ බලපෑම අල්පයි. නමුත් බාහිර බලවතුන් විසින් නිර්මාණය කර දුන් මානව ආපදා විසින් අපේ රටට සිදුව ඇති හානිය ගණනය කළ නොහැකියි. බාහිර බලවතුන් විසින් අපට කොටි ත්‍රස්තවාදය නිර්මාණය කර දුන්නා. 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ආවා. 1988 – 89 ජේ.ආර්. ජයවර්ධනගේ ඒකාධිපතිත්වයට එරෙහිව සටනක් ඇවිලුණා. මේ සියල්ල මගින් දේපළ, ජීවිත හානි වුණා. මේ රටේ උතුරේ සහ දකුණේ සිටි බුද්ධිමත්ම තරුණ පිරිසක් ඝාතනයට ලක්වුණා. ඒ මහා මානව සම්පතේ සාරය අපට අහිමි වුණා. අදටත් මේ රාජ්‍යයේ තිබෙන ඇතැම් දුබලතාවලට ඉහත කී බාහිර බලවතුන් නිර්මාණය කළ මානව ආපදා, ත්‍රස්ත සටන්, කැරලි බලපා තිබෙනවා.

‘ඇමෙරිකානු නිවේදනය’

දැන් අපි මේ අර්බුදයෙන් රට ගොඩගත හැකිද, යන සංවාදයේ නිරතව සිටියදී ඇතමුන් බලනවා, මේ අර්බුදය රාජ්‍යය දියකර හැරීමට, අත්පත් කරගැනීමට යොදා ගන්න. ඒ අඳුරු බලවේග ශ්‍රී ලංකා රාජ්‍යය බිඳවැටෙන තැනට කටයුතු කිරීමට ඉඩ දී අපට නිහඩව බලා සිටීමට බැහැ. මේ රට තවත් ලිබියාවක්, ඉරාකයක් වීමට ඉඩ දීමට බැහැ. සමාජ මාධ්‍යවල උදම් අනන හැටි දැක්කාම, ප්‍රචණ්ඩත්වය කරා මේ සමාජ විරෝධය ගෙන යාමට උනන්දු වන හැටි දැක්කාම අපට පෙනෙනවා ඒ අඳුරු බලවේග සූදානම් වන්නේ මේ අර්බුදය, ඔවුන්ගේ අභිමතාර්ථ ඉටු කරන ව්‍යසනයක් දක්වා, ශ්‍රී ලංකා රාජ්‍යය අපට අහිමි කිරීම දක්වා ගෙනයෑමට බව. රඹුක්කන තරුණයා පොලිස් වෙඩි පහරකින් මියගියාම මුලින්ම නිවේදනයක් නිකුත් කළේ මෙරට ඇමරිකානු තානාපතිවරියයි. එම තරුණයා දේශපාලන කටයුතුවල නිරත වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් කලින්ම හෙළා දැකීමේ නිවේදනය ඇය නිකුත් කළා. ඇමෙරිකාවේදී ම්ලේච්ඡ විදියට පහර දී කළු ජාතික තරුණයකු පොලිස් නිලධාරියකු විසින් මරා දැමුවා අපට මතකයි. ඒවාට නිවේදන නැහැ. ඇමෙරිකානු තානාපතිතුමිය මෙරට සිදුවන දේවල් සමීපව නිරීක්ෂණය කරනවා. එහෙම කරන්නේ මෙරට අත්පත්කරගැනීමේ ඔවුන්ගේ උපායමාර්ගික සැලැස්මට අනුව මේ අර්බුදය යොදාගත හැකිදැයි බැලීමටයි.

‘නිර්මාණය වූයේ අපායක්’

මේ අර්බුදය විසින් අපව ප්‍රකෝප කර තිබෙනවා, අසහනයට පත් කර තිබෙනවා. දැනට පවතින පාලනතන්ත්‍රය මෙම අර්බුදය උත්සන්න වීමට බරපතළ දායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ නිසා එම පාලනතන්ත්‍රය එළවා දැමිය යුතුව තිබෙනවා. නමුත් ඒ මොනවා කළත් වාසි සැලසෙන්නේ ඉහත කී අපට මේ රාජ්‍යය අහිමි කරවන අඳුරු බලවේගවලට නම්, ඒ අරාජිකත්වයේ මාවත රටට, ජනතාවට ජයග්‍රහණ ගැන එන්නේ නැහැ. ඔබට මතකයි ලිබියානුවන් එදා හිතුවා, ‘ගඩාෆිගේ හිස මතින් නිර්මාණය වන්නේ ස්වර්ග රාජ්‍යය’ කියා. නමුත් නිර්මාණය වූයේ අපායක්. අපි ජාතියක් ලෙස කිසිදා එවැනි පසුතැවීමකට ලක් විය යුතු නැහැ. එනිසා අරාජිකත්වය වර්ධනය වීමට ඉඩ හරිනවා වෙනුවට මේක පාලිත තත්ත්වයකට ගත යුතුයි.

‘පාලිත තත්ත්වයක් ඇති කිරීම’

දැන් අපි බලමු මේ අරාජික තත්වය පාලිත තත්ත්වයකට ගත හැක්කේ කෙසේද, කියා. ඒ සඳහා පක්ෂය 11ක එකමුතුව හා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ අනෙකුත් මන්ත්‍රීවරුන් හා එක්ව අපි ඉදිරිපත් කරලා තිබෙනවා අන්තර්කාලීන පාලනයක් පිහිටුවීම පිළිබඳ යෝජනාවලියක්. එම අදහස් ගෞරවනීය මහා නායක ස්වාමීන්වහන්සේලා අනුමත කර නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ වගේම කාදිනල්තුමා ද ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ හැමදෙනාම කියනවා අගමැතිවරයා ඇතුළු මේ ආණ්ඩුව ඉල්ලා අස් වෙලා බහුපාක්ෂික, රට ස්ථාවර කිරීමේ පාලනතන්ත්‍රයක් පිහිටුවීමට ඉඩ සලසන්න කියා. ඒක තමයි එකම ක්‍රමය දේශපාලන විශ්වාසනීයත්වය සෑදීම සඳහා තිබෙන.

‘ජාතික සභාවක්’

අගමැතිවරයා ප්‍රමුඛ පාලනතන්ත්‍රය පිළිබඳව තිබෙන මහජන අප්‍රසාදය අපට නැති කරන්න බැහැ. ඒ නිසා පළමු වන දේ තමයි එම පාලනතන්ත්‍රය පූර්ණ ලෙස ඉවත් වීම. ඉන්පසු මහජන විශ්වාසය දිනාගත හැකි අන්තර්කාලීන පාලනතන්ත්‍රයක් පිහිටුවිය යුතුයි. එම පාලනතන්ත්‍රය මගින් අපි ඉහත කී මෙරට ආර්ථිකයේ හිල් වැසීමේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ජනාධිපතිවරයා සමඟ ඒ පිළිබඳව එකඟතාවකට, ගිවිසුමකට එන්න ඕනේ. එතැන් සිට රට පාලනය කිරීමේ තීරණාත්මක තීන්දු තීරණ ගැනීමට, අන්තර්කාලීන පාලනතන්ත්‍රයට සම්බන්ධ වන හැම පක්ෂයකම නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් එම පාලනතන්ත්‍රයට ඉහළින් පිහිටුවිය යුතුයි. එම ජාතික සභාව මගින් තමයි ආර්ථික උපායමාර්ගය හා අනෙකුත් කරුණු පිළිබඳව තීන්දු ගතයුත්තේ. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය ඉතා අඩු ප්‍රමාණයක් කරගෙන, ඔවුන්ගේ වරප්‍රසාද හැකි පමණ අඩු කර ගනිමින් මහජනයාට විශ්වාසය තැබිය හැකි පරිදි සමාජ ස්ථාවරභාවය ඇති කිරීම පිණිස ඔවුන් පියවර ගත යුතුයි. ඒක තුවක්කුවෙන් කරන්න බැහැ. හදවතින් හදවතට, කළ යුතු දේ පිළිබඳව සන්නිවේදනය මගිනුයි ඒ කළ හැක්කේ.

‘තනි තීරණ ගන්න ඉඩ නැහැ’

සමහරු කියනවා, ‘ගෝඨාභය රාජපක්ෂත් යන්න ඕනේ’ කියලා. ගෝඨාභය රාජපක්ෂ ගියාට පස්සේ මොකද වෙන්නේ? පාර්ලිමේන්තුවේ 113ක බලයක් පෙන්නන්න පුළුවන් කෙනෙක් ඉතිරි අවුරුදු දෙකහමාරට ජනාධිපති වෙනවා. දැන් හැංගිලා ඉන්න බැසිල් මහත්තයා ඇවිත් ‘මට 113 හදන්න පුළුවන්’ කියලා ඇවිත් 113 හදලා පෙන්නුවොත් ගෝඨාභය මහත්තයා ගිහින් තියෙන්නෙ බැසිල් මහත්තයාට ජනාධිපති වෙන්නනේ. ‘කපුටා කමිං ටු ප්‍රසිඩන්ට් හවුස්’. ඒකද කරගන්න ඕනේ. එහෙම නැතිව 113 පෙන්වන්න දෙන්නෙක් පොරකෑවොත් කිසිම කෙනෙකුට 113 නැති වුණොත් මොකද වෙන්නේ? කාටත් තක්කු මුක්කු වෙලා ඉන්නයි වෙන්නේ. මේක තක්කු මුක්කු වෙලා ඉන්න පුළුවන් වෙලාවක් ද? දැන් කරන්න ඕනේ ජනාධිපතිත් ඉවත් කරලා රට තවදුරටත් අස්ථාවර කරන එක නොවෙයි. දැන් කරන්න ඕනේ ඉන්න ජනාධිපතිවරයාට තනි තීරණ ගන්න බැරි විදිහට වැඩපිළිවෙළකට සහ සාමූහිකව තීන්දු තීරණ ගන්නා ඉහත කී ජාතික සභාවට එකඟ කරවාගෙන රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩගත හැකි අන්තර්කාලීන පාලනතන්ත්‍රය පිහිටුවීමයි. මේ දේ නොකර වෙන වෙන හොරගල් අහුලන අය කරන්නේ මේ අස්ථාවරභාවය වැඩෙන්න ඉඩ දී බලා සිටීම. ඒ වගේම එම අන්තර්කාලීන පාලනතන්ත්‍රය හැදීමට ඉඩ දී ඉවත් නොවන පිරිස කරන්නෙත් ඒකමයි. වයසක අය වෙනුවට තරුණ අය දාලා කුට්ටම ඇනුවාට දැන් වැඩක් නැහැ.

‘ඉතිහාසයේ අවසානය’

සර්වපාක්ෂික හෝ බහුපාක්ෂික අන්තර්කාලීන පාලනතන්ත්‍රයක් මේ මොහොතේ පිහිටුවීමට නොහැකි වුවහොත් ඒ තමයි අපේ ඉතිහාසයේ අවසානය. ගෑස් නැතිව ලතවෙන අම්මාට, ඉන්ධන නොමැතිව ලත වෙන තාත්තාට, විදුලිය නැතිව අන්තර්ජාලයට යන්න බැරිව තරහින් සිටින තරුණයාට මේ මොහොතේ හිතන්න දෙයක් තිබෙනවා. අප මේ අරාජිකත්වය දිනෙන් දින වැඩෙන්න ඇරියොත් ‘ලිබියාව වගේ රාජ්‍යයක් නොමැති රටක් බවට ඊළඟට ඉතිහාස පොතේ ලියවෙන රාජ්‍යය ශ්‍රී ලංකාව’ බවට පත්වේවි. ඒ නිසා එතැනට මේ රට ඇදවැටීමට ඉඩ දීමට අපට අයිතියක් නැහැ.

‘අඳුරු බලවේගවලට ඉඩක් නැහැ’

අපේ මුතුන්මිත්තන් ඉතිහාසය පුරා මීට වඩා දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දී තිබෙනවා. කෙසේ නමුත් ඒ හැම දුෂ්කර අවස්ථාවකදීම එතනින් එළියට එන්න පාරක් අපි හොයාගෙන තිබෙනවා. ඒ පාරෙන් අපි එළියට ඇවිත් තිබෙනවා. මේ අර්බුදයෙනුත් අපට ඉහත පෙන්වා දුන් පාරෙන් එළියට එන්න පුළුවන්. ජනතාවගේ අප්‍රසාදයට ලක් වූ පවුල් පාලනය තවදුරටත් පවත්වා ගෙන නොයා යුතුයි, වගේම ඒ විරෝධය දඩමීමා කරගෙන බාහිර බලවතුන්ගේ දඩබිමක් බවට මේ රට පත්කිරීමට කැසකවන පාපී අඳුරු බලවේගවල අරමුණ ද ඉටුකර ගැනීමට ඉඩ නොදිය යුතුයි.

අපි පක්ෂ 11ක එකමුතුවක් ලෙස ‘මුළු රටම හරි මගට’ ජාතික වැඩපිළිවෙළ ඉදිරිපත් කරනු ලැබුවේ මේ අර්බුදයෙන් වැටුණු රට යළි නැගිටුවා ස්ථාවරව ඉදිරියට ගෙන යාමටයි. ඒ ගමනට දෑහිතකාමී සියලු බලවේග එකතු කරගෙන අපි සූදානම් වෙමු! මේ අඳුරු අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදවාගෙන විජයග්‍රාහී අනාගතයක් ගොඩනගමු! කියමින් ඒ සඳහා ඔබ සැමට ඇරයුම් කරනවා.”

මෙහිදී ජානිපෙ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පිළිගැනීම සහ අරමුණු පැහැදිලි කිරීම සිදු කළ අතර එම අවස්ථාවට යුතුකම සංවාද කවයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු, සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka