නඩු විස්සකට පමණ වරෙන්තු සහ සිතාසි නිකුත්කර තිබියදීත් පොලිසිය යසසිරි කස්තුරිආරච්චි නමැති ව්‍යාපාරිකයා අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සහ මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර අතර ඊයේ (21 පාර්ලිමේන්තුවේදී මතගැටුමක් ඇති විය.
ගිංතොට තුනී ලෑලි සමාගමේ සේවකයින්ට පාරිතෝෂික නොගෙවීම සම්බන්ධයෙන් කස්තුරි ආරච්චිගේ යසසිරි හා ජේ.ජී.අයි. උදයංගනී කස්තුරිආරච්චි යන අයට එරෙහිව වරෙන්තු නිකුත් කර වසරකට අධික කාලයක් ගතව ඇතත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකරන බව මන්ත්‍රීවරයා පැවැසුවේය.
‘මේ ආයතනය රජයට පවරා ගන්නා ලෙස මා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. ඒ ගැන කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දුන් නමුත් මේ දක්වා එය සිදුවෙලා නැහැ. සැකකරුවන් ප්‍රසිද්ධියේ සිටියත් අත්අඩංගුවට ගන්නේ නැහැ. ගිංතොට තුනී ලෑලි සමාගමේ යන්ත්‍ර සහ කොටස් ගලවාගෙන යනවා. එහි පොලිස් මුරපොළක් ස්ථාපිත කළ යුතුයි..” මන්ත්‍රීවරයා කීවේය.
“මන්ත්‍රීවරයා කියන දේවල් මා පිළිගන්නේ නැහැ . ඉන්න තැනක් දන්නවා නම් අත්අඩංගුවට ගන්නවා. ඔහු ඉන්නේ කොළඹ. කොළඹ නිවසට හැම තිස්සේම ගියත් ඔවුන්
එහි නැහැ. අධිකරණයට භාර වෙලා වරෙන්තුවත් ඉවත් කරගෙන තිබෙනවා..” යැයි ඇමැතිවරයා කීවේය.
‘‘ඇමැතිවරයාගේ උත්තරයට මම එකඟ වන්නේ නැහැ. කිසිම සේවකයකුට මුදල් ගෙවා නැහැ. ඊයේ පෙරේදා එක නඩුවකට පමණක් පෙනී ඉන්න ඇති. ඔහු සොයා ගන්න බැරි නිසා අත්අඩංගුවට නොගෙන ඉන්නවා කියා ඇමැතිවරයා කියනවා නම් ඒක පට්ටපල් බොරුවක්..” යැයි මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවැසුවේය.
වරෙන්තු සිය ගාණක් එනවා. මේක කම්කරු අමාත්‍යාංශයෙන් පැවරූ නඩුවක්. හැම වරෙන්තුවක් ගැනම බලන්න නම් ඒ සඳහා පොලිසියේ දහස් ගණනක් සිටිය යුතුයැයි මෙහිදී ” ඇමැති සරත් වීරසේකර කියා සිටියේය.
