රන්ජන් ජයලාල් කළේ අල්ලස් ඉල්ලීමක්... ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි - සුනිල් හඳුන්නෙත්ති
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා විසින් තෑගි භෝග ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය මුළුමනින්ම හෙළා දකින බවත්, ඔහු වහාම ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ජනතාවගෙන් සමාව ගෙන එම වරද නිවැරදි කළ යුතු බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි.
සිරස රූපවාහිනී නාලිකාවේ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය හෝ ආණ්ඩුවේ කිසිදු සාමාජිකයකු කිසිසේත්ම අනුමත නොකරන බවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පිහිටා අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය:
"පසුගිය ආණ්ඩු කාලවලදී දුන්නාක් මෙන් අපටත් උත්සව සමයේ තෑගි බෝග, හැම්පර් දෙන්නැයි කීම පැහැදිලිවම අල්ලස් ඉල්ලීමක්. එය ජාතික ජන බලවේගයේ කිසිවෙකුට පිළිගත හැකි ප්‍රකාශයක් නොවෙයි. නීතියේ ආධිපත්‍යය මුලින්ම ක්‍රියාත්මක විය යුත්තේ අපටයි. ඔහු මොන මානසිකත්වයකින් හෝ මෙම ප්‍රකාශය සිදු කළේ නම්, එය මුලින්ම ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ නිවැරදි කර ජනතාවගෙන් සමාව ගත යුතුයි. මේ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස අප අනිවාර්යයෙන්ම ඔහුට එරෙහිව විනය පියවර ගන්නවා."
2022 වසරේ ජන අරගලය හමුවේ කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර කා ජීවිත පවා පූජා කරමින් ජනතාව වත්මන් ආණ්ඩුව බලයට පත් කළේ වංචාව, දූෂණය සහ අල්ලස පිටුදැකීමට බව සිහිපත් කළ හඳුන්නෙත්ති මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු උගතුන් සිය මහාචාර්ය වැටුප් හා වරප්‍රසාද පසෙකලා රට වෙනුවෙන් කැපවී සිටින මොහොතක කිසිවෙකුටත් වරප්‍රසාද හෝ තෑගි ඉල්ලමින් කටයුතු කිරීමට ඉඩ නොදෙන බව ද කියා සිටියේය.
බලය ලැබුණු විට පුද්ගලයන් පිරිහීමට ලක්විය හැකි වුව ද, ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය පුරා එවැනි පිරිහීමට ලක්වූ ප්‍රබල චරිත පක්ෂයෙන් නෙරපා හැරීමට නොපැකිළිව කටයුතු කර ඇති බවත්, එම දැඩි පක්ෂ විනය අදටත් නොසැලී ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
මේ පුවත තව අයට බලන්න
රන්ජන් ජයලාල් කළේ අල්ලස් ඉල්ලීමක්... ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි - සුනිල් හඳුන්නෙත්ති
2026-11-12T11:05:00+05:30
Gossip Lanka Hot News





