චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කෙරේ!
බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුට විශේෂ පහසුකම් සලසා දීම වෙනුවෙන් ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියට අදාළව, නඩුවේ සැකකරුවකු වන චරිත් අබේසිංහට අයත් සුඛෝපභෝගී තහනම් කිරීමට පියවර ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ විශේෂ මෝසමක් ගොනු කරමින් අල්ලස් කොමිසම මේ බව වාර්තා කළේය.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, 2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ (නෛතික ප්‍රතිපාදනවලට අනුකූලව මෙම දේපළ අත්හිටුවීමට පියවර ගත් බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව ද කොමිසම අධිකරණයට වැඩිදුර තොරතුරු අනාවරණය කළේය.
ඒ අනුව සිද්ධියේ දෙවන සැකකරු වන නීතිඥ රබිත රාජපක්ෂ නමැත්තාට අයත් සුඛෝපභෝගී වාහන කිහිපයක් සහ බැංකු ගිණුම් 4ක් මහාධිකරණ නියෝග මත මීට පෙර අත්හිටුවා ඇත.
තුන්වන සැකකරු වන වරුණ හැන්දිගේ අරුණ චතුරංග නමැත්තාගේ පියාට සහ බිරිඳට අයත් වාහන දෙකක් ද අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
බන්ධනාගාරගතව පසුවන පාතාල කල්ලි සාමාජිකයෙකුට රැඳවුම් භාරයේදී සහ නීතිමය කටයුතුවලදී වරප්‍රසාද ලබාදීමේ පොරොන්දුව මත ඔහුගේ බිරිඳගෙන් මෙම වාර්තාගත කෝටි 12ක මුදල අල්ලස් ලෙස ලබාගත් බවට අල්ලස් කොමිසම මඟින් මොවුන්ට එරෙහිව නඩු පවරා තිබිණි. මෙම සිද්ධියට අදාළව චරිත් අබේසිංහ, නීතිඥ රබිත රාජපක්ෂ සහ වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන සැකකරුවන් තිදෙනා මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර, මේ වන විට ඔවුහු ඇප මත මුදාහැර සිටිති.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ නඩුව ලබන මස 08 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.
මේ පුවත තව අයට බලන්න
චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කෙරේ!
2026-11-16T16:46:00+05:30
Gossip Lanka Hot News






