ජනපති අනුරගේ වත්කම් හෙළිවේ... දරුවාගේ පොතේ ඇත්තේ රු. 2,500ක් පමණයි..
නවතම වත්කම් සහ බැරකම් ප්‍රකාශ මහජනතාවගේ දැනගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ පළ කිරීමට පියවර ගෙන තිබෙන බව BBC සිංහල වෙබ් අඩවිය සඳහන් කරනවා. වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව මෙලෙස වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කළ දෙවැනි අවස්ථාව මෙය ලෙස සටහන් වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ මෙම වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශය පසුගිය වසරේ ප්‍රකාශය හා සැසඳීමේදී විශාල වෙනස්කම් දක්නට නො ලැබුණද, කැපී පෙනෙන යම් යම් වෙනස්කම් කිහිපයක් නිරීක්ෂණය කළ හැකි බව ඔවුන් සඳහන් කරනවා.
එම ප්‍රකාශයට අනුව ජනාධිපතිවරයාගේ එකම ආදායම් මාර්ගය වන්නේ ජනාධිපති වැටුප පමණි. සියලු දීමනා ද ඇතුළත්ව ඒ හරහා ලැබෙන වාර්ෂික ආදායම රුපියල් 3,081,624කි. මෙකී කාලසීමාව තුළ ජනාධිපතිවරයාගේ බිරිඳ හෝ පුත්‍රයා කිසිදු ආදායමක් උපයා නොමැති බව එහි පැහැදිලිව සඳහන් කර ඇත.
පවුලේ සාමාජිකයන්ගේ මූල්‍ය තත්ත්වය
ප්‍රකාශය ලබා දෙන අවස්ථාව වන විට පවුලේ සාමාජිකයන්ගේ මුදල් ශේෂයන් පහත පරිදි සටහන් වේ:
ජනාධිපතිවරයාගේ පුත්‍රයා: අත ඇති මුදල රු. 5,000ක් වන අතර, බැංකු ගිණුමේ ශේෂය රු. 2,500කි.
ජනාධිපතිවරයාගේ බිරිඳ: අත ඇති මුදල රු. 35,000ක් වන අතර, බැංකු ගිණුමක රු. 321,888ක ශේෂයක් පවතී.
නිවසේ සහ ඉඩමේ වටිනාකම වෙනස් වීම
පසුගිය වසරේ වත්කම් ප්‍රකාශයේ ජනාධිපතිවරයාගේ බිරිඳට අයත් ඉඩම් කැබැල්ල සහ නිවසේ වටිනාකම රුපියල් මිලියන 40ක් ලෙස දක්වා තිබුණි. නමුත් මෙවර නව ප්‍රකාශයේ ඔප්පුවේ සඳහන් වටිනාකම පදනම් කරගෙන ඇති බැවින්, 2006 වසරේ ඔප්පුවේ සඳහන් මිල අනුව එම දේපළෙහි වටිනාකම රුපියල් ලක්ෂ 5ක් ලෙස සටහන් කර තිබේ.
මිලියන 15ක වාහනයට වූ දෙයක් නෑ?
මෙවර ප්‍රකාශයේ නිරීක්ෂණය වන විශාලතම වෙනස්කම වන්නේ පසුගිය වසරේ ජනාධිපතිවරයා සතුව තිබූ, 2017 වසරේදී මිලදී ගන්නා ලද රුපියල් මිලියන 15ක් වටිනා ටොයෝටා හයිලක්ස් (Toyota Hilux) රථය මෙවර වත්කම් ප්‍රකාශයෙන් ඉවත් වී තිබීමයි.
එම රථය වෙනත් අයෙකුට අලෙවි කළේ ද, නැතහොත් වෙනත් පාර්ශ්වයකට පැවරීමක් සිදු කළේ ද යන්න පිළිබඳව කිසිදු සඳහනක් එහි නොමැත. එමෙන්ම, එම රථය අලෙවි කළේ නම් ඊට අදාළ මුදලක් ජනාධිපතිවරයාගේ බැංකු ගිණුම්වල තැන්පත් වී ඇති බවක් ද නිරීක්ෂණය නොවේ.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ නමින් කිසිදු ණය මුදලක් හෝ වෙනත් මූල්‍යමය වගකීමක් සඳහන් නොවීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් මේවනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ මෙම වත්කම් ප්‍රකාශ කියවීමේ අවස්ථාව අහිමිව තිබෙනවා.
වෙබ් අඩවියේ යාවත්කාලීන කිරීමක් සිදුවන අතර පසුව යළිත් වත්කම් ප්‍රකාශ කියවීමේ අවස්ථාව ලබාදෙන බවයි වාර්තා වන්නේ.
ජනපති අනුරගේ වත්කම් හෙළිවේ... දරුවාගේ පොතේ ඇත්තේ රු. 2,500ක් පමණයි..
2026-11-06T08:21:00+05:30
Gossip Lanka Hot News





