gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

යලිත් තෙල් පෝලීම් ඇතිවීමේ අවදානමක්...- ඇඩ්වොකාටා

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළ තුළ තරගකාරීත්වය සහ සමාන තරග බිමක් නිර්මාණය නොකර, රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර මතුව ඇති අර්බුදයන්ට නිසි ආර්ථික විද්‍යාත්මක හා නීතිමය විසඳුම් නොදුනහොත් ඉදිරියේදී නැවතත් රට තුළ ඉන්ධන පෝලීම් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව Advocata ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

Advocata Plus නාලිකාව ඔස්සේ ආර්ථික විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් ඒ මහතා අවධාරණය කළේ, මතුපිටින් පෙනෙන දේශපාලන ප්‍රකාශවලින් ඔබ්බට ගොස් මෙරට ඛනිජ තෙල් වෙළඳපොළේ පවතින සැබෑ ව්‍යුහාත්මක ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් සෙවීම රජයේ ප්‍රමුඛ කාර්යභාරය විය යුතු බවයි.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව  සහ වෙළඳපොළට අලුතින් පිවිසි Sinopec, LIOC වැනි පෞද්ගලික සමාගම් අතර පවතින්නේ සාධාරණ හෝ සමාන තරග බිමක් නොවන බව ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. 

බොරතෙල් ආනයනයේදී පනවා ඇති තීරුබදු හා වෙනත් බදු අවම මට්ටමක පවතින බැවින්, සපුගස්කන්ද පිරිපහදුව හරහා නිපදවන ඉන්ධන (සමස්ත වෙළඳපොළෙන් 30%ක්, ඩීසල් 40%ක් සහ 92 පෙට්‍රල් 15%ක්) සඳහා වැය වන බදු පිරිවැය සෘජුව ආනයනය කරන පිරිපහදු කළ ඉන්ධනවලට වඩා බෙහෙවින් අඩුය. මෙම වාසිය පූර්ණ වශයෙන් හිමිවන්නේ තෙල් සංස්ථාවට පමණි.

ගුවන් යානා ඉන්ධන සහ විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන වෙත දැවිතෙල් සැපයීමේ පූර්ණ ඒකාධිකාරය තෙල් සංස්ථාව සතුව පවතී. එමගින් ලබන අතිවිශාල ලාභය භාවිත කරමින් සාමාන්‍ය ඩීසල් හා පෙට්‍රල් මිල අඩු මට්ටමක පවත්වාගෙන යාමේ හැකියාව සංස්ථාව සතු වුවද, පෞද්ගලික අංශයට එම අවස්ථාව අහිමි කර ඇත.

තෙල් ගබඩා කිරීමේ පර්යන්ත සමාගමේ බහුතර හිමිකාරිත්වය තෙල් සංස්ථාව සතුව පවතින අතර, සෙසු පෞද්ගලික සමාගම්වලට සිය ඉන්ධන ගබඩා කර ගැනීමට සහ බෙදා හැරීමට සංස්ථාවට විශාල ගාස්තුවක් ගෙවීමට සිදුව තිබේ.

පෞද්ගලික සමාගම් සමඟ ඇති කරගෙන ඇති ගිවිසුම් ප්‍රකාරව ඔවුන්ට ඉන්ධන අලෙවියෙන් උපරිම වශයෙන් රඳවා ගත හැක්කේ සියයට 4 ක පමණ ලාභ ආන්තිකයක්  බවත්, ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම හා ආනයනික පිරිවැය ඉහළ යාම හමුවේ පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට කිසිදු පෞද්ගලික සමාගමක් සූදානම් නොවන බවත් හෙළිදරව් කෙරිණි. 

මිල සූත්‍රය ගණනය කිරීමේදී සමාගම් ඉදිරිපත් කරන ආනයන පිරිවැය මත පදනම් නොවී, ජාත්‍යන්තරව පිළිගත් 'සිංගප්පූරු ප්ලැට්ස්' මිල දර්ශකය පදනම් කරගෙන එය සකස් කළ යුතු බවද ඒ මහතා යෝජනා කරයි.

රජය සහ පෞද්ගලික තෙල් සමාගම් අතර මතභේද හටගෙන, සමාගම් සිය සැපයුම සීමා කළහොත් හෝ තෙල් සංස්ථාව පමණක් පාඩු ලබමින් අඩු මිලට ඉන්ධන ලබා දුනහොත් ඇති විය හැකි බරපතළ ප්‍රතිවිපාක කිහිපයක් ධනනාත් ප්‍රනාන්දු මහතා පැහැදිලි කරයි.

පෞද්ගලික පිරවුම්හල්වල මිල වැඩි වීම හෝ සැපයුම අඩාල වීම හේතුවෙන් සියලුම පාරිභෝගිකයන් සංස්ථා පිරවුම්හල් වෙත ඇදී ඒමෙන් නැවතත් පෝලීම් නිර්මාණය විය හැකිය.

අඩු මිලට ලබාගන්නා ඉන්ධන කෑන් සහ ත්‍රිරෝද රථ මගින් රැස් කර වැඩි මිලට අලෙවි කිරීමේ කළු කඩ ව්‍යාපාරයක් රට තුළ යළි හිස ඔසවනු ඇත.

1970 දශකයේදී මෙරට සිටි 'එක්සොන් මොබිල්' වැනි දැවැන්ත ජාත්‍යන්තර තෙල් සමාගම් රට හැර යාමෙන් සිංගප්පූරුව කලාපීය තෙල් කේන්ද්‍රස්ථානය බවට පත්වූ අතීත පාඩම සිහිපත් කළ ඒ මහතා, වර්තමාන පෞද්ගලික සමාගම් සමඟ ගැටුම් ඇති කර ගැනීමෙන් විදේශ ආයෝජකයන් රට අත්හැර යා හැකි බවත්, තවත් ආයෝජකයන් මෙරටට නොපැමිණෙනු ඇති බවත් පෙන්වා දුන්නේය.

යම් හෙයකින් රජය සතුව විදේශ විනිමය හිඟයක් මතුවුවහොත්, පෞද්ගලික අංශයද නොමැති පසුබිමක රට මුළුමනින්ම යළිත් ඉන්ධන අර්බුදයකට ඇද වැටීමේ අවදානම පවතී.

මෙම අර්බුදයෙන් මිදීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කිහිපයක් ඇඩ්වොකාටා ආයතනය රජයට යෝජනා කරයි.

ස්වාධීන නියාමන අධිකාරියක් පිහිටුවීම: මහජන උපයෝගිතා කොමිසම වැනි ස්වාධීන නියාමකයෙකු යටතට සමස්ත ඛනිජ තෙල් කර්මාන්තය ගෙන ඒම.

ගබඩා පර්යන්ත සහ පිරිපහදුව වෙන් කිරීම : CPSTL පර්යන්ත පහසුකම් සහ සපුගස්කන්ද පිරිපහදුව තෙල් සංස්ථාවේ තනි ආධිපත්‍යයෙන් මුදාහැර, සියලුම සමාගම්වලට සාධාරණව භාවිත කළ හැකි ස්වාධීන ආයතන බවට පත්කිරීම.

මිල සඳහා නොව ජනතාවට සෘජු සහනාධාර ලබාදීම: තෙල් මිල සඳහා සමස්ත සහනාධාර ලබාදීම වෙනුවට, සැබැවින්ම පීඩාවට පත්වන දුප්පත් ජනතාව ඉලක්ක කර ‘අස්වැසුම’ වැනි ක්‍රමවේද හරහා සෘජු මූල්‍ය ආධාර ලබාදීම.

සිංගප්පූරු ප්ලැට්ස් (Platts) මිල දර්ශකය: ජාත්‍යන්තර මිණුම්දඬු හා දේශීය බදු පදනම් කරගත් විනිවිදභාවයෙන් යුත් නව මිල සූත්‍රයක් හඳුන්වා දීම.

මෙම විශ්ලේෂණය සඳහා මහාචාර්ය රොහාන් සමරජීව මහතා සපයා තිබූ කරුණුද මූලාශ්‍ර කරගත් බව ධනනාත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka