පාස්කු ප‍්‍රහාරයට පෙර අසාද් මව්ලානා මිරිහාන නිවසේදී ගෝඨාභය හමුවුනා - පින්තූර පෙන්වමින් නීතිපති අධිකරණයේදි කියයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම ඊයේ (06) අභියාචනාධිකරණය හමුවේ සලකා බලනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළාය.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සම මගින් අසාද් මව්ලානා නමැති පුද්ගලයා තමන් හඳුනන්නේ නැති බව ප්‍රකාශ කර තිබුණද, ඔවුන් දෙදෙනා එකට සිටින ඡායාරූප කිහිපයක් නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී ඇති ඉනියභාරතී නමැති පුද්ගලයා පවසා ඇත්තේ, 2019 වසරේදී හිටපු ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවසේදී අසාද් මව්ලානා ඇතුළු පිරිසක් ඔහුව හමුවූ බවයි.
ඉදිරිපත් කරන ලද ඡායාරූප මගින් එම හමුවීම තහවුරු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මෙනෙවිය අධිකරණයට පෙන්වා දුන්නාය.
මෙම පෙත්සම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් පිළිබඳව කරුණු මතු කර ඇති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය ප්‍රකාරව මෙවැනි කරුණු විභාග කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බව නීතිපති පාර්ශවය තර්ක කළේය. ඒ අනුව මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, පුද්ගලයෙකුගේ නිදහස සීමා කිරීමට නම් ප්‍රබල සාක්ෂි හෝ සාධාරණ සැකයක් තිබිය යුතු බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ කිසිදු කොමිෂන් සභා වාර්තාවක තම සේවාදායකයාට එරෙහිව කරුණු අනාවරණය වී නොමැති බවත්, ඡායාරූපයක සිටි පමණින් පුද්ගලයෙකු අපරාධයකට සම්බන්ධ යැයි නිගමනය කළ නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
අසාද් මව්ලානා නමැත්තා කාදිනල් හිමිපාණන් සහ තවත් දේශපාලනඥයන් සමඟ සිටින ඡායාරූප ද පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහණ තලෙයිසූරිය සහ සරත් ගුණතිලක යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බලන ලදී. පෙත්සම පිළිබඳ වැඩිදුර දේශන ජූලි මස 09 වැනිදා නැවත කැඳවීමට අධිකරණය නියම කළේය.
මේ පුවත තව අයට බලන්න
පාස්කු ප‍්‍රහාරයට පෙර අසාද් මව්ලානා මිරිහාන නිවසේදී ගෝඨාභය හමුවුනා - පින්තූර පෙන්වමින් නීතිපති අධිකරණයේදි කියයි
2026-07-07T10:49:00+05:30
Gossip Lanka Hot News






