මාලඹේ හොර අරක්කුවලට ස්ටිකර් ඉන්දියාවෙන් - හිටපු ඇමැති කෙනෙක් ගැනත් සැකයක්!
කඩුවෙල මාලඹේ සුදර්ශන මාවතේ රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී ස්කාගාරයේ නිෂ්පාදිත අරක්කු බෝතල්වල අලවන ලද ආරක්ෂිත ස්ටිකර් ලබාගෙන ඇත්තේ ඉන්දියාවෙන් බවට විමර්ශන අංශ වෙත තොරතුරු අනාවරනය වී ඇතැයි වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරනය වී ඇති බව පැවසේ.
මේ අතර, අදාළ නීති විරෝධී අරක්කු නිෂ්පාදනය රටපුරා බෙදාහැරීමේ ජාවාරමට සම්බන්ධ සුරාබදු නිලධාරීන් සොයා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පුළුල් පරීක්ෂණක් ආරම්භ කර ඇතැයි ද පැවසේ.
අදාළ ආරක්ෂිත ස්ටිකර් සුරාබදු දෙපාර්තමේන්තුව සතු යන්ත්‍රවලින් පවා හඳුනාගත නොහැකි බවද විමර්ශනවලදී හෙළිව තිබේ.
ඒ මෙම අරක්කු බෝතල්වල අලවන ස්ටිකර් සුරාබදු නිලධාරීන්ගේ අනුදැනුමක් නොමැතිව ලබාගැනීමට නොහැකි බවද මේ අතර වාර්තා වේ.
හිටපු ඇමැති කෙනෙක් ගැන ඉඟියක්
මේ ව්‍යාපෘතිය පිටුපස හිටපු අමාත්‍යවරයෙකු සිටින බවට ද තොරතුරුඅනාවරණය වී ඇති අතර මේවන විට ඔහුගේ සමීපතයකු සොයා පරීක්ෂණ පැවැත්වෙන බවද පැවසේ.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් පසුගිය 28 වැනිදා මාලඹේ සුදර්ශන මාවතේ සුඛෝපභෝගී නිවසක් වටලනු ලැබිණි.
එහි තිබී බලපත්‍ර ලාභී මත්පැන් නිෂ්පාදනවලට අතිශය සමාන අන්දමින් නිෂ්පාදනය කර ලේබල් අලවා මූඩි වල ස්ටිකර්ද අලවා තිබූ මත්පැන් බෝතල් දහ අටදහසකට අධික ප්‍රමණයක්ද සොයාගෙන තිබුණේ මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ හා භාණ්ඩද සමගිනි.
මෙම ජාවාරමට අදාළව විශ්‍රාමික හමුදා මේජර්වරයෙකු ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත කරන ලද ප්‍රශ්න කිරීම් වලට අනුව මෙම මත්පැන් කඳුකර ප්‍රදේශවල හා නැගෙනහිර පළාතේ සුරාසල් වෙත බෙදාහැර ඇති බවටද අනාවරණය විය.
ඒ අනුව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මඩකලපුව ප්‍රදේශයේ වැටලීමක් කරමින් මෙම නීති විරෝධී අන්දමින් නිෂ්පාදනය කළ මත්පැන් මඩකලපුව ප්‍රදේශයේ සුරාසල් 25 කට බෙදාහැරි කෝටිපති ව්‍යාපාරිකයෙකු හා එම මත්පැන් බෙදාහැරි ලොරියද එහි රියැදුරු ද අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම ස්ටිකර් මෙරට තුළ පවතින්නේ එම ස්ටිකර් මුද්‍රණයට කොන්ත්‍රාත් ගත් සමාගම හා සුරාබදු දෙපාර්තමේන්තුවේ පමණක් බව විමර්ශන නිලධාරීහු කියා සිටිති.
මෙයට විදේශීය සම්බන්ධකම් මෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ සම්බන්ධකම් තිබී ඇතැයි සැකකරන බවද විමර්ශන නිලධාරිහු කියා සිටිති.
මේ අතර මෙම ජාවාරම්කරුවන්ට මත්පැන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය එතනෝල් බ්‍රිටෙක්ස් නමැති රසායනිකය මිශ්‍ර කරමින් ලබාදුන් පුද්ගලයා ගැනද විමර්ශන නිලධාරීන් මෙහිදී අනාවරණය කරගෙන ඇත.
වත්තල ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා ප්‍රධාන පෙළේ බලපත්‍රලාභී මත්පැන් සමාගම්වලට එතනෝල් සපයන අයෙකු බවද හෙළිවී ඇත.
එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහාද පොලිසිය පරීක්ෂණ සිදුකරති.
එලෙසම මාලඹේ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය නිවසේ හිමිකාරිය මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සිටින බවද ඇයද දැනුවත්ව මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසයි.
ආරක්ෂිත ස්ටිකර්
ආරක්ෂිත ස්ටිකර් ටෙන්ඩරයේ පූර්ණ හිමිකාරීත්වය දරනු ලබන්නේ ඉන්දියාවේ චෙන්නායි නුවර කේන්ද්‍ර කරගත් මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් (Madras Security Printers Pvt. Ltd. – MSP) නැමති ආයතනය විසිනි.
මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම සමඟ ශ්‍රී ලංකා රජය එළඹ ඇති වර්තමාන ප්‍රසම්පාදන ගිවිසුම 2027 ජනවාරි 01 වැනි දිනෙන් නිල වශයෙන් අවසන් වීමට නියමිතව ඇත.
ස්ටිකර් ටෙන්ඩරය අහෝසිකරන්න COPA ඉල්ලයි
මෙම ගිවිසුම කල් ඉකුත්වීමට කලින් එය අවලංගු කරන ලෙස පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව (Committee on Ways and Means) විසින් මුදල් අමාත්‍යාංශයට සහ සුරාබදු දෙපාර්තමේන්තුවට දැඩිව නිර්දේශ කර තිබේ.
ඒත් ගිවිසුම ඒකපාර්ශ්විකව අවලංගු කිරීමෙන් රජයට දැවැන්ත වන්දියක් ගෙවීමට සිදුවීමේ අවදානමක් පවතින බවත්, ක්ෂණිකව වෙනත් සැපයුම්කරුවෙකු සොයාගැනීමේ ප්‍රායෝගික අපහසුතාව හේතුවෙන් සැපයුම් ජාලයේ හිඩැසක් නිර්මාණය වී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය තවදුරටත් ඉහළ යා හැකි බවත් පෙන්වා දෙමින්, 2027 ජනවාරි දක්වා වත්මන් සමාගම සමඟම කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මුල් ටෙන්ඩර් කැඳවීම 2016 වර්ෂයේදී ආරම්භ වූ අතර, ජාත්‍යන්තර තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් හරහා “ගොඩනැගීම, හිමිකාරීත්වය දැරීම සහ මෙහෙයවීම” (Build, Own and Operate – BOO) යන ව්‍යාපාරික ආකෘතිය යටතේ එය ක්‍රියාත්මක විය.
නව ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වී ඇති ආයතන සහ සමාගම් (2026 ක්‍රියාවලිය)
වත්මන් ගිවිසුම 2027 මුල් භාගයෙන් අවසන් වන බැවින්, ඉදිරි වසර 5ක කාලයක් සඳහා නව සේවා සපයන්නෙකු තෝරාගැනීම වෙනුවෙන් නව අන්තර්ජාතික ටෙන්ඩරයක් කැඳවීමට 2026 මැයි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
- srilankamirror
මාලඹේ හොර අරක්කුවලට ස්ටිකර් ඉන්දියාවෙන් - හිටපු ඇමැති කෙනෙක් ගැනත් සැකයක්!
2026-07-07T11:32:00+05:30
Gossip Lanka Hot News






