gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සලේගෙන් පිටු 600 ක රහසිගත ප්‍රකාශයක්!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රීට් පෙත්සමට අදාළව පිටු 600කට අධික අතිශය තීරණාත්මක අතිරේක ලේඛන සහ සාක්ෂි තොගයක් ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

දැනට අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඒ මහතාගේ මෙම පෙත්සම් විභාගය ලබන ජූලි මස 10 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක මෙම පියවර ගෙන ඇත.

මෙම නවතම ලේඛන පෙළගැස්ම හේතුවෙන් පාස්කු බෝම්බ ප්‍රහාරය, ඒ පිළිබඳව පැවැති විමර්ශන මෙන්ම එම වකවානුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ රහස්‍ය කරුණු රැසක් කරළියට පැමිණ තිබේ.

සුරේෂ් සලේ මහතාගේ නීතිඥ පාර්ශවය සඳහන් කරන්නේ ජනක ද සිල්වා විනිසුරු මඩුල්ලේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ විමර්ශකයන් සහ ප්‍රධාන සාක්ෂිකරුවන් ලබාදුන් දිවුරුම් ප්‍රකාශ රැසක් මෙම පිටු 600ක ලේඛන අතර අන්තර්ගත වන බවයි. එමඟින් ප්‍රහාරයට සෘජුවම වගකිවයුතු පුද්ගලයන් කවුද යන්න පැහැදිලි කෙරෙන අතර, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු හිතාමතාම මඟහැරීම සහ බරපතළ ලෙස රාජකාරි පැහැර හැර ඇති ආකාරය ද මේ හරහා සනාථ කර ඇති බව ඔවුහු පවසති.

මීට අමතරව, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් අදාළ ජනාධිපති කොමිසම හමුවේ ලබා දුන් විශේෂ සාක්ෂිය ද මෙම ලේඛන ගොනුවට ඇතුළත් කර තිබේ. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ස්වාධීනව සිදුවිය යුතු බව කාදිනල් හිමිපාණන් එහිදී අවධාරණය කර ඇති අතර, වත්මන් දේශපාලන සහ සමාජ වටපිටාව තුළ එම ස්වාධීනත්වයේ මූලධර්මය සහමුලින්ම බිඳ වැටී ඇති බව පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා අධිකරණය හමුවේ තර්ක කරයි.

මේ අතර, සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම නීතිමය ක්‍රියාමාර්ගය හුදෙක් පුද්ගලික පෙත්සමකට පමණක් සීමා නොවී, සමස්ත සමාජයේම අවධානය දිනාගත් ජාතික වැදගත්කමකින් යුත් නීතිමය සටනක් බවට පත්වෙමින් තිබේ. මෙම නඩුවට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා සිවිල් සංවිධාන, ජාතික සංවිධාන සහ මහා සංඝරත්නය නියෝජනය කරන පාර්ශවකරුවන් රැසක් මේ වන විටත් අභියාචනාධිකරණයෙන් නිල වශයෙන් අවසර ඉල්ලා අතුරු පෙත්සම් ගොනු කර ඇත.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, ගෝලීය ශ්‍රී ලංකා සංසදය සහ දේශප්‍රේමී ජාතික පෙරමුණ යන සංවිධාන මෙන්ම දිඹුලාගල මහා විහාරයේ දිඹුලාගල රාහුලාලංකාර හිමි, නුගේගොඩ ගංගොඩවිල ශ්‍රී බෝධිමළු විහාරයේ දාපනේ සුමනවංශ හිමි, කැලණිය දුම්රිය ස්ථාන පාරේ ශ්‍රී ප්‍රඥානන්ද ධර්මායතනයේ බෙංගමුවේ නාලක හිමි සහ මාලබේ ඉසුරුපුර ශ්‍රී විමලාරාමයේ අඟුලුගල්ලේ සිරි ජිනන්ද හිමි යන මහා සංඝරත්නය මෙලෙස නඩුවට මැදිහත් වීම සඳහා අවසර ඉල්ලා සිටිති. ඒ අනුව, ලබන සිකුරාදා එනම් ජූලි 10 වැනිදා මෙම රීට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ යළි විභාගයට ගන්නා අවස්ථාවේදී, ප්‍රධාන පෙත්සමට අමතරව මෙම සියලුම ජාතික සංවිධාන සහ මහා සංඝරත්නය ඉදිරිපත් කර ඇති අතුරු පෙත්සම් ද අධිකරණයේ සලකා බැලීමට නියමිතව තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka