කළිදු ස්පොට් ටෙන්ඩර් කියන්නේ වෙන රටකට යන නැවක් හරවලා වැඩි මිලකට අපිට බාගන්න වැඩක් - වසන්ත සමරසිංහ
ගල් අඟුරු මිලදී ගැනීමේදී භාවිත කරන 'ස්පොට් ටෙන්ඩර්' (Spot Tender) ක්‍රියාවලිය යනු අත්‍යවශ්‍ය අවස්ථාවකදී මුහුදේ යන නැව් නවත්වා සාමාන්‍ය මිලට වඩා වැඩි මිලකට ගල් අඟුරු ලබා ගැනීම වැනි හදිසි මිලදී ගැනීමක් බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
දෙරණ ‘360’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නිසි වේලාවට ප්‍රසම්පාදන කටයුතු නිම කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙලෙස වැඩි මිලට ගල් අඟුරු මිලදී ගැනීමට රජයට සිදුවන බවයි.
ගල් අඟුරු සපයා ගැනීමට හැකියාව තිබූ 2025 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා වූ කාලය තුළ දින 41ක ප්‍රමාදයක් සිදුව ඇති බව විගණකාධිපති වාර්තා පෙන්වා දෙන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. මෙම ප්‍රමාදය හේතුවෙන් වාරකන් කාලය ආරම්භ වීමට පෙර අවශ්‍ය ගල් අඟුරු තොග ගෙන්වා ගැනීමට නම් සාමාන්‍ය ටර්ම් ටෙන්ඩර් (Term Tender) ක්‍රමයට වඩා වැඩි මිලක් ගෙවා ස්පොට් ටෙන්ඩර් ක්‍රමයට යාමට රජයට සිදුව ඇත. වාරකන් කාලය මැයි 10-15 අතර ආරම්භ වන බැවින් ඊට පෙර ගල් අඟුරු ගොඩබෑම අත්‍යවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.
ස්පොට් ටෙන්ඩර් හරහා ගල් අඟුරු සැපයීමට තෝරාගත් සමාගම්වල සුදුසුකම් පිළිබඳව විගණකාධිපතිනිය ප්‍රශ්න කර ඇති බව මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම පසුගිය මාස 36ක කාලය තුළ අදාළ ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු සැපයූ පළපුරුද්දක් ඇතැම් සමාගම්වලට නොමැති බව විගණන වාර්තාවල සඳහන් වේ. කෙසේ වෙතත්, අමාත්‍යවරයා පවසා සිටියේ හදිසි මිලදී ගැනීම් (Spot Tenders) සඳහා යාමේදී මෙවැනි පළපුරුද්ද පිළිබඳ නිර්ණායක දැඩි ලෙස සලකා නොබලන බවයි.
මීට පෙර ගල් අඟුරු සැපයීමේදී පනවා තිබූ තාපජනක බලය පිළිබඳ නිර්ණායක මෙවර ලිහිල් කර ඇති බවට නැඟෙන චෝදනා සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය. පෙර පැවති රජයන් සමයේ ඇතැම් සමාගම් සතු වූ ඒකාධිකාරය බිඳ දමා වැඩි තරඟකාරීත්වයක් ඇති කිරීම සඳහා මෙලෙස නිර්ණායක සංශෝධනය කළ බව ඔහු පැවසීය.
සැපයුම්කරුවන් නියමිත නැව් ප්‍රමාණය ලබා දීමට අපොහොසත් වීම (උදාහරණ ලෙස නැව් 18ක් වෙනුවට 12ක් පමණක් පැමිණීම) හේතුවෙන් රටේ විදුලි උත්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ස්පොට් ටෙන්ඩර් වෙත යාම හැර වෙනත් විකල්පයක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිදුව ඇති අක්‍රමිකතා සහ ප්‍රමාදයන් පිළිබඳව සොයා බැලීමට දැනටමත් විමර්ශන කොමිසමක් ක්‍රියාත්මක වන බව ද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න
කළිදු ස්පොට් ටෙන්ඩර් කියන්නේ වෙන රටකට යන නැවක් හරවලා වැඩි මිලකට අපිට බාගන්න වැඩක් - වසන්ත සමරසිංහ
2026-04-21T11:56:00+05:30
Gossip Lanka Hot News






