ලොකු පැටීගේ කුඩු සල්ලි සංසරණය වී ඇත්තේ කොමර්ෂල් හා HNB බැංකු ගිනුම්වලින් – CID
ගාල්ල බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ‘‘ලොකු පැටී’’ ගේ මුදල් කටයුතු භාරව සිටින දිනේෂ් කුමාර නමැති මෝදර මහදේවාලයේ කපුවා රුපියල් කෝටි ගණනින් මුදල් සංසරණය කර ඇත්තේ කොමර්ෂල් බැංකු හා හැටන් නැෂනල් බැංකු (HNB) ගිනුම් ඔස්සේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත 10 වැනිදා දන්වා සිටියේය.
අදාළ මුදල් සංසරණය සඳහා කොමර්ෂල් හා HNB බැංකු ATM කාඩ් 7ක් භාවිතා කර ඇති බවද එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.
සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින මෝදර මහදේවාලයේ කපුවාගේ ගිනුම් හරහා රුපියල් තිස්තුන්කෝටියකට අධික මුදලක් සංසරණය වී ඇති බවද මේවන විට සොයාගෙන තිබේ.
මේ අතර, බන්ධනාගාරගතව සිටිමින් මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව බන්ධනාගාරගත රැඳවියන් තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී පළමු සැකකරු වන ලොකු පැටී නමැත්තා බූස්ස බන්ධනාගාරයේ සිට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ නඩුව සඳහා ඉදිරිපත් කර තිබූ අතර දිනේෂ් කුමාර නමැති සැකකාර කපුවා සහ තවත් සැකකරුවක් බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා ලබන 18 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළේය.
ලොකු පැටීගේ කුඩු සල්ලි සංසරණය වී ඇත්තේ කොමර්ෂල් හා HNB බැංකු ගිනුම්වලින් – CID
2025-11-12T07:57:00+05:30
Gossip Lanka Hot News






