ගාල්ල දිස්ත්‍රික්කයේ පිලාන ප්‍රදේශයේ පිහිටි නිවසක සෙප්ටික් ටැංකියක් (වැසිකිළි වළක්) පුපුරා යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට හබරාදූව පොලිසිය තහවුරු කරයි. මෙසේ මියගොස් ඇත්තේ පිලාන, වංචාවල ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්.ජී. මනෝජ් නිශාන්ත නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ආයතනයක සේවය කරන්නෙකු බවද තොරතුරු වාර්තා වෙයි.
සිය නිවසේ වැසිකිළි වළේ අපද්‍රව්‍ය දිරාපත් කරවීම සහ දුර්ගන්ධය නැති කිරීමේ අරමුණින්, මියගිය පුද්ගලයා විසින් ඊට කාබයිට් නැමති රසායනික ද්‍රව්‍යයක් යෙදීමට උත්සාහ කර තිබේ.
එහිදී ඇති වූ හදිසි අධික පීඩනයක් මත අදාළ සෙප්ටික් ටැංකිය පුපුරා ගොස් ඇති අතර, සිද්ධියෙන් ඔහු බරපතල තුවාල ලබා ඇත.
පසුව අසල්වැසියන් එක්ව තුවාලකරු කරාපිටිය රෝහල වෙත කඩිනමින් රැගෙන ගියද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.