පක්ෂයේ ඉල්ලීම පරිදි පාක්ෂිකයාගේ අවසරය මත පක්ෂය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් සිදු කිරීමට තමා සූදානම් බවත් බස්නාහිර පළාත් සභාවට තරග වදින ලෙස පක්ෂයෙන් ඉල්ලීමක් කළොත් ඒ පිළිබඳව සලකා බලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
ඊයේ (13) දින සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ය.
වාමාංශික කඳවුරට විරුද්ධව දක්ෂිණාංශික කඳවුර එකතු විය යුතු බවත් ඒ හරහා දක්ෂිණාංශික කඳවුර ශක්තිමත්ව නිර්මාණය විය යුතු බවට් මන්ත්‍රීවරයා පවසයි.
කෙසේවෙතත් සමගි ජන බලවේගය 2014 සිට එක්සත් ජාතික පක්ෂය පිළිබඳ නැඟූ චෝදනා වෙනුවෙන් අදටත් පෙනී සිටින බවත් එම චෝදනා සෝදා දැමීමට සූදානම් නැති බවත් මරික්කාර් මහතා වැඩිදුරටත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“පක්ෂයේ ඉල්ලීම පරිදි පාක්ෂිකයාගේ අවසරය මත පක්ෂය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් සිදු කරන්න මා සූදානම්. එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු විය හැකි ආකාර පිළිබඳව සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවට වාර්තාවක් දෙන ලෙස සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල කමිටුවත්, කළමනාකරණ කමිටුවත් තීන්දුවක් ගෙන තිබෙනවා.
වාමාංශික කඳවුරට විරුද්ධව දක්ෂිණාංශික කඳවුර එකතු විය යුතුයි කියන මතයේ අප සිටිනවා. ඒ එකතුවීම හරහා දක්ෂිණාංශික කඳවුර ශක්තිමත්ව නිර්මාණය විය යුතුයි. එය විය යුතු දෙයක්. එය අනාගතයේදී සිදු වෙනවා. පළාත් සභා මැතිවරණයේදී දක්ෂිණාංශික කඳවුරට එකතුවී වැඩ කිරීමේ හැකියාව තිබෙනවා.
ඒ හරහා තමයි දක්ෂිණාංශික කඳවුරට ජයග්‍රහණයක් ගැනීමට හැකියාව ලැබෙන්නේ. පළාත් සභා මැතිවරණය හැරවුමක ආරම්භයක් කර ගත යුතුයි. පළාත් සභා මැතිවරණය අය-වැයෙන් පසුව පැමිණීමට නියමිතයි. එතෙක් මේ එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට කාලයක් තිබෙනවා. පොදුජන පෙරමුණ සමඟ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතුවීමක් නොව දකුණු කඳවුරු එකට හිටගැනීමයි වැදගත් වෙන්නේ.
සමගි ජන බලවේගය 2014 සිට නඟපු චෝදනා වෙනුවෙන් අදටත් පෙනී සිටිනවා. ඒ චෝදනා සෝදා දමන්න සූදානම් නෑ. එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති අතර විශාල වෙනස්කම් නෑ. එක්සත් ජාතික පක්ෂය ඇතැම් අවස්ථාවලදී අන්ත ලිබරල් ප්‍රතිපත්ති අනුගමනය කරන්න උත්සාහ දරනවා. නමුත් මේ වන විට ලෝකයේ තිබෙන්නේ අන්ත ලිබරල් ක්‍රමයක් නෙවෙයි. සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ලෝකයේ ක්‍රියාත්මක වෙනවා.
ආණ්ඩුව සමඟ සමස්ත විපක්ෂයම එකතු වුණත් තරග කරන්න නොහැකි බව ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ප්‍රකාශ කර තිබුණා. කිසිම පක්ෂයක් හැමදාම දිනන්නෙත් නෑ, හැමදාම පරදින්නෙත් නෑ. අපේ රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය පළාත් සභා මැතිවරණයට තරග කරනවා.
අපි පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. එම ජයග්‍රහණයට අපි දකුණු කඳවුර එකතු කළ යුතුයි. එහිදී එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාව රැක ගනිමින් , සමගි ජන බලවේගයේ අනන්‍යතාව රැක ගනිමින් එක සන්ධානයක් ලෙස එකතුවී කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා.
දීර්ඝකාලීන දේශපාලන තීන්දු පිළිබඳව සාකච්ඡා කරනවා. පළාත් සභා ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය උපරිමයෙන් කටයුතු කරනවා. සමගි ජන බලවේගය දේශපාලන සන්ධානයක් නිර්මාණය වන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ පමණයි. අච්චාරු දේශපාලන සන්ධානවලට සමගි ජන බලවේගය එකතු වන්නේ නෑ.”