තම පක්ෂයේ වෘත්තීය සමිති පසුගිය වසර ගණනාව තුළ රටේ සංවර්ධන ගමන විනාශ කළ බවට එල්ල කරන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. සියත රූපවාහිනී නාලිකාවේ පැවති දේශපාලන සංවාදයකට එකතු වෙමින් ප්‍රධාන ලේකම්වරයා මේ බව කීය.
සංවාදයේදී නිවේදකයා පෙන්වා දුන්නේ පසුගිය 76 වසර තුළ රට හදන්න උත්සාහ කළ ද ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ඇතුළු කණ්ඩායම විසින් සම්පූර්ණ පද්ධතියම විනාශ කර දැමූ බවට මේ හේතුවෙන් එය තව දුරටත් කරගෙන යන්න බැරි තැනකට පැමිණ ඇති බවටත් චෝදනා එල්ල වන බවයි.
කෙසේ වෙතත් මේ මොහොතේ රට හදන්නට ඉඩ දීම සඳහා තමන් නිශ්ශබ්ද වී සිටින බවට විපක්‍ෂය පවසන බවත් නිවේදකයා ප්‍රකාශ කළේය.
ඊට ප්‍රතිචාර දැක්වූ ටිල්වින් සිල්වා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති කිසිම දිනයක මේ රටේ රටට හානිකර කිසිවක් සිදුකර නොමැති බවයි. ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ රටට වාසියක් වන තීරණවලට ඔවුන් විරුද්ධ වී නැති බවයි.
කෙසේ වෙතත් රටට විරුද්ධව තීරණයක් ගන්නේ නම් උදාහරණයක් ලෙස රාජ්‍ය ආයතනයක් විකිණීමට ලෑස්තිවන්නේ නම් ඒ වැනි අවස්ථාවකදී ඊට විරුද්ධ වී ඇති බව ඔහු සිහිපත් කරයි.
වැඩ වර්ජන සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු පසුගිය වසර ගණනාව තුළ තම සංවිධානය ස්ට්‍රයික් කිසිසේත් කර නොමැති බවත් පැවතියේ උද්ඝෝෂණ වැනි දේ පමණක් බවත් ටිල්වින් සිල්වා සඳහන්කරයි.
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් යම් යම් පෞද්ගලික ආයතනවල පවා මැදිහත්වී වර්ජන කළේ යැයි චෝදනා ඇති බවට නිවේදකයා කළ ප්‍රකාශයට ටිල්වින් සිල්වා සඳහන් කළේ ඒවා හුදු චෝදනා පමණක් බවයි.
ටිල්වින් සිල්වා එහි දී අභියෝග කර සිටියේ තම සංවිධානය විසින් විනාශ කළ එක ආයතනයක් හෝ නම් කරන ලෙසයි.