මාස හතරක කාලයක් ඇතුළත ඇමරිකානු ඩොලර් ලක්ෂ අටක මුදලක් ආපසු ලබාදෙන බවට ගිවිසුම් අත්සන් කර සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ජපන් ජාතිකයකුගෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ හයක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනා යටතේ සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ලබන නොවැම්බර් 20 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
2008.2.1 වැනිදා හා 2008.3.3 වැනිදා කාලය අතරතුර දී ජපන් ජාතිකයකු වන සොෂුකි හයාෂි නමැත්තාගෙන් එකී මුදල ලබාගෙන වංචා කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් 2015 වසරේ දී විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබිණි.
සිතාසි නිකුත් කර එකී විත්තිකරුවන් කැඳවා නඩුව ආරම්භ කළ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත් පූර්වගාමි මහාධිකරණ විනිසුරුවරයකු නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම අත්හිටුවා නඩුව බහා තැබීමට නියෝග කොට තිබිණි.
ඒ පිළිබඳව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ විරෝධතා සලකා බැලූ අධිකරණ සේවා කොමිෂන් සභාව එකී මහාධිකරණ විනිසුරුවරයාට ස්ථාන මාරුවක් ලබාදී තිබිණි. එලෙස එකී නඩුව බහා තැබීම බැලූ බැල්මට දෝෂ සහගත බවට නිගමනය කළ අධිකරණ සේවා කොමිෂන් සභාව මේ වනවිට සේවය අත්හිටුවා ඇති එකී පූර්වගාමි මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ යටතේ විමර්ශනයක් ආරම්භ කිරීමටත් එලෙස අනීතික ලෙස බහා තැබුවේ යැයි කියන නඩුව යළි විභාගයට ගැනීමටත් පියවර ගෙන තිබිණි. ඒ අනුව පෙර කී පූර්වගාමි මහාධිකරණ විනිසුරුවරයා විසින් මුදාහැර තිබූ ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු විත්තිකරුවන් සිතාසි නිකුත් කර අධිකරණයට කැඳවා නැවත නඩු විභාගය පැවැත්වීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කළ නියෝගයක් අනුව එම නඩුව වසර ගණනාවකට පසුව (16දා) කැඳවිණි.
සිය සේවාදායකයාට පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීමට ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් නොමැති බැවින් සූම් තාක්ෂණය ඔස්සේ සාක්ෂි දීමට ඔහු සූදානම් බව පැමිණිලිකාර ජපන් ජාතිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන එම ජපන් ජාතිකයාගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබාගනෙ තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට නියෝග කළ විනිසුරුවරිය එම නඩුව යළි ලබන නොවැම්බර් 20 වැනිදා කැඳවීමට නියෝග කළාය.
ඒ. ජේ. ඒ. අබේනායක