gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිනන රටකට ලස්සනම ආදර්ශය මැවූ රත්තරන් කෙල්ල…

වසර 17කට පසුව පැවැත්වුණු සිව් වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඉන්දියාවේ රංචිහිදී ඔක්තෝබර් 26 වන දා අවසන් විය. තරගාවලියට පකිස්ථානය එක් වූයේ නැත. දෙරට අතර ඇතිවෙන දුර්ග දේශපාලන ගිනි මැද පකිස්ථානය සහභාගී නොවීම තරගාවලියේ තියුණු සහ තරගකාරී ස්වරූපය අඩු වී ගිය බව කිව යුතුව තිබේ.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින යන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300ක් පමණ සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 63ක් තරගාවලිය නියෝජනය කළහ.

කෙසේ වෙතත් තුන්වන දිනයේ දී  ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 8ක් සහ රිදී පදක්කම් 8ක් දිනා ගත්හ. තරගාවලිය අවසානයේ දී ශ්‍රී ලංකාව   රන් පදක්කම් 16ක් රිදී පදක්කම් 14ක්, ලෝකඩ පදක්කම් 10ක්  සමග පදක්කම් 40ක් දිනා ගත්තේය.

ඉන්දියාව පෙරමුණ ගත්තේ රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 20ක්, ලෝකඩ පදක්කම් 18ක්ද සමගින් මුළු පදක්කම් 58ක් දිනා ගනිමිනි.

පදක්කම් 6ක් දිනූ නේපාලයට තුන් වැනි ස්ථානය හිමි විය.

මේ තරගාවලිය වර්ණවත් කළ ක්‍රීඩිකාව සෆියා යාමික් ය. ඇය තරගාවලියේ විශ්මය වූ බව කිව යුතුය.    තරගාවලියේ    රන් පදක්කම් තුනක්  දිනා ගැනීමට සෆියා යාමික් සමත් වුණාය. ඊයේ ඇය මීටර 200 රන් පදක්කම දිනා ගන්නේ තරගාවලි වාර්තාවක් ද සමගිනි.

එහිදී   ඇය  තප්පර 23.58කින් සිය ඉසව්ව අවසන් කරමින් බිඳහෙළණු ලැබුවේ මීට වසර 27කට පෙර 1998 වසරේ දී ඉන්දියාවේ පී.ටී. ඌෂා පිහිටුවා තිබූ තරග වාර්තාවය.

පෙරේදා සාෆියා  දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස කිරුළු පැළඳුවාය. මීටර් 100 කාන්තා රන් පදක්කම දිනා ගනිමිනි. ඇය වාර්තා කළ කාලය තප්පර 11.53කි. එය තරගාවලි වාර්තාවකි.  මීටර් 4×100 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් කණ්ඩායම ඇය නියෝජනය කළාය. ශ්‍රී ලංකා කෙල්ලෝ තරගය නිමා කරන්නේ තත්පර 44.7කිනි.

මේ මහා ජයග්‍රහණ අතර ඇය විසල් මානව ආදර්ශයක් සපයන ආකාරය ඒ බරින්ම අප තේරුම් ගත යුතුය.  සාෆියා යනු  අප ප්‍රාර්ථනා කරන බරසාර ශ්‍රී ලංකා ජාතියක සැබෑ උත්කර්ෂවත් නියෝජනය ය. එසේ කියන්නේ ඕනෑම ජාතියක් පසුගාමී කෙළවරක සිර කර දමන ගර්හිත රාමු අවබෝධයකයින් යුතුව විවර කරගත යුතු ආකාරය සාෆියා අපට පෙන්වා දෙන නිසාය. සාෆියාගේ අම්මාත් තාත්තාත් හිතන විදිහට මේ රටේ ආචීර්ණකල්පිත සංස්කෘතික රාමු තුළ හිරවූ අම්මලා තාත්තාලා හිතන්නට පටන් ගන්නවා නම් එදාට මේ රට මොනතරම් විශාල ජයග්‍රහණ අත්පත් කරගනු ඇතිදැයි අනෙක් පැත්තෙන් සාෆියා අපට පෙන්වා දෙන නිසාය.

සාෆියා යාමික් පාසල් යන්නේ  මහනුවර විහාරමහා දේවි බාලිකා විද්‍යාලයටය. විහාරමහා දේවී විද්‍යාලය ලේබල් වන්නේ  සිංහල බෞද්ධ පාසලක් ලෙසය.   සාෆියා ඉගෙන ගන්නේ සිංහලෙනි.  ක්‍රීඩාව පටන් ගන්නේ නිදහස් දැරියක ලෙසය. ක්‍රීඩාවට උචිත ඇඳුම් ඇය වාරණයකින් තොරව තෝරා ගන්නේය. ඇයට සම්ප්‍රදායික ආගමික සමාජය තුළින් පැමණෙන බලපෑම මීට වසර 03කට පෙර ඇය රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක දී කීවාය.

“ පල්ලියෙන් ප්‍රශ්න ආවා… මට නෙමෙයි… තාත්තට. එයාලා තාත්තට යෝජනා කරලා තිබුණ… කොට ඇඳුම් ඇඳන් මම දුවනවා ටී.වී.එකේ දකිනවා. ඒක අපේ සංස්කෘතියට හොඳ මදි… ඒ ගැන සැලකිලිමත් වෙන්න “ කියලා… තාත්තා කියලා තිබුණේ දරුවාගේ හීනය හොඳ Athlete කෙනෙක් වෙන්න. ඒකට ඉඩ දෙනවා කියලා..”  සාෆියා පවසන්නේ තමන් වෙනුවෙන් තම පියා සහ මව පවුරක් වී තමන්ගේ ක්‍රීඩා ජීවිතය ආරක්ෂා කළ ආකාරය ය.

අද සෆියා දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාවය. ශ්‍රී ලංකාවේ යෞවනයේ ප්‍රබෝධමත් ආදර්ශය ය. මේ මොහොතේ  රටේ ක්‍රීඩා වීරවරිය ය.  ජාතියක් ගොඩනැගිය යුතු ආකාරය රටට කියන ආකෘතිය ය.

සාෆියා වගේ වෙන්න… ඇය දිනන රටක සොඳුරුම ආදර්ශය සලකුණු කර ඇත.

-ඉඳුනිල් කහටපිටිය 
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka