පසුගිය ඔක්තෝබර් 10 වැනි දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමීය තුළදී පොලිස් නිලධාරියෙකුට නීතිඥවරයෙකු විසින් බැන වදින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ විශාල ලෙස හුවමාරු විය. එහිදී අදාළ පොලිස් නිලධාරියා විසින් නීතිඥවරකුට පහර දුන් බවට චෝදනා කරමින් නීතිඥ ගුණරත්න වන්නිනායක විසින් කරන චෝදනාවක් එම වීඩියෝවේ අන්තර්ගත විය.
පසුව චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද එනම් ඔක්තෝබර් 13 දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
ඒ අනුව නඩුව නැවත කැඳවීම අද දිනයේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු වූ අතර සැකකාර පොලිස් නිලධාරියා රු. ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් විසින් නියෝග කරන ලදී.
එමෙන් ම එහි ඉදිරි කටයුතු සඳහා සමථ මණ්ඩලය වෙත යොමු කිරීමට ද නියෝග කර තිබේ.
මේ අතර ඇප ලබා අධිකරණ භූමියෙන් පිටතට පැමිණි පොලිස් නිලධාරියා පිළිගැනීමට ද පිරිසක් අධිකරණ භුමිය අසල එක්රැස් වී සිටියහ.
ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කළ නිල නිවේදනයක දැක්වෙන්නේ 2025 ඔක්තෝබර් 10 වන දින ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතිඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇතිවූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට පැමිණිල්ලක් ලැබීමෙන් පසුව එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව ය.
එම නිවේදනය නිකුත් කර තිබෙන්නේ ඔක්තෝබර් 11 වන දින ය.
එමෙන් ම සමාජ මාධ්‍යයේ හුවමාරු වූ වීඩියෝවක නීතිඥ ගුණරත්න වන්නිනායක විසින් ඒ මොහොතේ පොලිස් නිලධාරීන් හට බැණ වදින ආකාරය දැක්වේ.
එහිදී එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගන්නා ලෙස ඔහු පොලිස් නිලධාරීන්ට පවසන අතර, පොලිස්පතිවරයා විය හැකි අයෙකු ඇමතීමට උත්සහ කරන ආකාරයක් දැක්වේ.
ඒ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරන බවට පවසමින් ය.
අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනුණේ ඒ අනුව ය.
ඉන්පසුව ශ්‍රී ලංකා පොලිසිය විසින් ඔක්තෝබර් 12 වන දින නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කිසිඳු මැදිහත්වීමක් සිදු කර නොමැති බව යි.
“මෙම සිද්ධිය පොලිස්පතිවරයා දැන ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර කිසිඳු විටෙක සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිතුමා විසින් නියෝගයක් ලබාදී නොමැත. නමුත් පොලිස්පතිතුමන් විසින් ඉහත නිලධාරින් අමතන විට ත් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර ගුණරත්න වන්නිනායක නීතිඥවරයාගේ බොරලැස්ගමුවේ පිහිටි නිවසට ද ඊයේ දින පොලීසිය විසින් පැමිණ තිබිණි.
– BBC