රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා නිකුත් කරන ලද රේගු බදු රහිත වාහන බලපත්‍ර නැවත ලබා දීම ඉදිරි අයවැයෙන් සිදුවීමට ඉඩක් නොමැති බවට ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 23,000කට ආසන්න සංඛ්‍යාවකට දැනටමත් බලපත්‍ර නිකුත් කිරීම නවතා ඇති අතර, තවත් නිලධාරීන් පිරිසක් මෙම පහසුකම සඳහා සුදුසුකම් ලබමින් සිටී.
රජය විසින් මෙම පහසුකම අත්හිටුවීමට සලකා බලන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කරන ලද ඉලක්කයක් වන, වසර අවසානය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 7ක විදේශ සංචිත ඉලක්කය සපුරා ගැනීම සඳහා ගන්නා ලද පියවරවල කොටසක් ලෙස බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙකු පවසා ඇත්තේ ලබන වසර සඳහා අයවැය ඉදිරිපත් කිරීමට මාසයක පමණ කාලයක් ඉතිරිව තිබියදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෛද්‍යවරුන්, කථිකාචාර්යවරුන් සහ අනෙකුත් වෘත්තිකයන්ගෙන් ඉල්ලීම් ලැබුණද, බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය නැවත ආරම්භ කිරීම පිළිබඳව කිසිදු අවධානයක් යොමු කර නොමැති බවයි.
මෙම තීරණය ගෙන ඇත්තේ වාහන ආනයනය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟය.
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ට අනුව, වසරේ මුල් මාස අට තුළ වාහන ආනයනය හේතුවෙන් සිදුවූ මුළු විදේශ විනිමය පිටතට ගලා යාම අමෙරිකානු ඩොලර් මිලියන 918ක් දක්වා ළඟා වී තිබේ. පුද්ගලික සහ වාණිජ වාහන යන දෙවර්ගයම ආවරණය වන පරිදි, අගෝස්තු මාසයේදී පමණක් ඉහළම මාසික වාහන ආනයන අමෙරිකානු ඩොලර් මිලියන 249ක් වාර්තා විය.
එසේ වුවද, වාහන ආනයනය හරහා බදු එකතු කිරීමෙන් රජය සිය ආදායම් ඉලක්ක සපුරා ඇත. වාර්ෂික ඉලක්කය රුපියල් බිලියන 450ක් ලෙස නියම කර තිබුණද, මේ වන විට රජය රුපියල් බිලියන 470ක ආදායමක් උපයා ඇත.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී වාහන ආනයනය ලිහිල් කළ දා සිට මේ දක්වා වාහන 37,115ක් ලියාපදිංචි කර තිබේ.
මුදල් අමාත්‍යාංශයේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ, දැනට වාහන ආනයනය මහ බැංකුව සමඟ සාකච්ඡා කරමින් ඉතා ප්‍රවේශමෙන් සිදු කරන බවයි. කෙසේ වෙතත්, වසර පහක කාලයකට පසුව ආනයනයට අවසර දී ඇති බව සලකන විට, ආනයනය කරන ලද වාහන සංඛ්‍යාව රජය විසින් තබා ඇති ඇස්තමේන්තු ඉක්මවා නොමැති බවද ඔහු පැවසීය.