වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ගේ ඝාතනය, අපරාධකරුවන් අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල අද (22) සවස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම සිදුවීම හරහා රටේ මහජන ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බවයි.
“අද පෙරවරුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට ලක්වුණා. අද සිදුවීම ගැන කතා කරනවා නම්, වැලිගම සභාපතිවරයා මහජන නියෝජිතයෙක් වුණත් පාතාල අපරාධකරුවෙක්.” යනුවෙන් ඇමති විජේපාල එහිදී සඳහන් කළේය.
ඝාතනයට ලක් වූ සභාපතිවරයාට එරෙහිව නඩු 6 ක් විවිධ අධිකරණවල (මාතර, කුරුණෑගල මහාධිකරණ සහ ගාල්ල අධිකරණ ඇතුළුව) පවතින බවත්, ඔහු සිරදඬුවම් ලබා අත්හිටවූ සිරදඬුවම් මත කටයුතු කරමින් සිටි බවත්, ඔහු පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවත් ඇමතිවරයා පැවසීය.
ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ අපරාධකරුවන්ගේ ප්‍රකාශ හරහා මෙම සභාපතිවරයා සතුව අවි ආයුධ තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවද හෙතෙම පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයා ගත් බවට ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් පවතින බවද ඇමතිවරයා සඳහන් කළේය .
ඇමැතිවරයා තවදුරටත් කියා සිටියේ, මේ රටේ සංවිධානාත්මක අපරාධකරුවන් සතුව ආයුධ තිබෙන අතර ඔවුන් අතර ගැටුම් පැවතීම නිසා මෙලෙස ඝාතනයක් සිදුව ඇති බවත්, මෙය “ඒ අපරාධකරුවන් අතර ආරවුලක්” බවත්ය.
“පාතාල හෝ වෙනත් අයෙකු මියයාම අනුමත කරන්නේ නැහැ. මිනිස් ජීවිත අගයන ආණ්ඩුවක් තිබෙන්නේ. නමුත් මේ ගැන විධිමත් විමර්ශනයක් කරනවා. කවුරු වුණත් ඝාතන අනුමත කරන්නේ නැහැ.” යනුවෙන් ප්‍රකාශ කළ අමාත්‍යවරයා, පාතාල කෙනෙක් යම් දේශපාලන පක්ෂයක් සමඟ කටයුතු කරන්නේ නම් ඔහු පාතාල ක්‍රියාකාරිකයෙක් ගණයට වැටෙන බවද සඳහන් කළේය.
මහජන නියෝජිතයෙක් ලෙස පත් කරන පුද්ගලයෙක් සමාජයේ නීතිගරුකව කටයුතු කරන්නේ නම් මෙවැනි දේ සිදුවන්නේ නැති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
-newshub