Gossip Lanka Hot News ජර්මනියේ නිෂ්පාදිත, වෙඩි නොවදින සුඛෝපභෝගී මෝටර් රථයක් නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ගරාජයක අතහැර දමා තිබියදී අද (22) දින සොයා ගැනීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය සමත් විය.
මෙම සුඛෝපභෝගී, වෙඩි නොවදින මෝටර් රථය 2008 වසරේදී මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු ලැබී ඇත. පොලීසිය පවසන්නේ, 2017 වසරෙන් පසුව, මෙම රථය කිසිදු සේවා කටයුත්තක් සඳහා එය මෙරටට ගෙන්වූ නියෝජිත සමාගම වන ඩිමෝ ආයතනය වෙත රැගෙනවිත් නොමැති බවටද තොරතුරු අනාවරණය වී ඇති බවයි.
නුගේගොඩ, පාගොඩ පාරේ පළමු පටුමගේ පිහිටි ගරාජයක සැකකටයුතු පුද්ගලයෙකු ගැවසෙන බවට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ. නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී, අංක තහඩු රහිතව, ආවරණයක් යොදා වසා තිබූ මෝටර් රථයක් දැක ඇත. එය අලුත්වැඩියාවක් සඳහා ගෙන ආ බව එහි සිටි පුද්ගලයා ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, රථයේ දොරවල් විවෘත කිරීමට උත්සාහ කිරීමේදී ඒවායේ පැවති අධික බර හේතුවෙන් ඇතිවූ සැකය මත, නිලධාරීන් විසින් මෝටර් රථය වැඩිදුර පරීක්ෂාවට ලක්කර තිබේ. එහිදී, මෙය වෙඩි නොවදින ලෙස විශේෂයෙන් සකසන ලද (armored) රථයක් බවට තහවුරු කරගෙන ඇත.
මෙම මෝටර් රථය සහ මෙරට ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි අතර යම් සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව විමර්ශන අංශවලට දැඩි සැකයක් මතුව තිබේ. පොලීසිය මේ වන විට එම සැකය ඔස්සේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.