මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් මේ දිනවල ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක සාකච්ඡාව පිළිබඳව ස්වාධීන රූපවාහිනී සේවයේ පැවති වැඩසටහනකදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අදහස් පළ කර ඇත.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කිරීමට වත්කම් නොමැතිවීම හේතුවෙන් ලැජ්ජාවට පත්වන අවස්ථා පවතින බවයි.
“දාන්න දෙයක් නෑ. මොනවයි මේක ලියන්නේ? මම කිව්වා ගහනවා ඉරි. මොකුත් නෑ සමහරුන්ට” යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කළ අතර, ඇතැම් අවස්ථාවල තමන්ම අදාළ මන්ත්‍රීවරුන්ට “ඉරි ගැසීමට” උපදෙස් ලබාදෙන බවද පැවසීය.
වත්කම් ප්‍රකාශ සම්බන්ධයෙන් ඔවුන් කිසිදු බියක් නොමැති බව අවධාරණය කළ ඒ මහතා, “යකාට බය නම් සහොනෙ ගෙවල් හදන්නේ නෑ අපි” යනුවෙන් කියා සිටියේය.
තමන් යථාර්ථය දැනගෙනම සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බවත්, එම ප්‍රකාශ හොඳින් කියවන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
අමාත්‍ය ධූරය ලබාගැනීමට පෙර තමන් සතු වූ වත්කම්, දෙමාපියන්ගෙන් ලැබුණු දේපල, වෘත්තීය ජීවිතය තුළින් උපයාගත් දේපල සහ ඥාතීන්ගෙන් හෝ මිත්‍රයන්ගෙන් ලැබුණු සියලු දේ කිසිදු සැඟවීමකින් තොරව ඉදිරිපත් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වටගල මහතා අවධාරණය කළේය. මේ සියල්ල තම වත්කම් වන අතර ඒවා නොසැඟවා ඉදිරිපත් කර ඇති බවටද ඒ මහතා තහවුරු කළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මන්ත්‍රීවරුන් 150කට අධික සංඛ්‍යාවකින් අහඹු ලෙස එකක් හෝ දෙකක් පමණක් ගෙන ඒවා ප්‍රසිද්ධියට පත්කිරීමක් සිදුවන බවයි.