සිමාසහිත මගනැගුම මාර්ග ඉදිකිරිම් යන්ත්‍රෝපකරණ පුද්ගලික සමාගමේ මෙහෙයුම් කටයුතු නවතා තිබියදි අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයකට අනුව ස්වෙච්ඡා හා අනිවාර්ය විශ්‍රාමගිය සේවකයින්ගෙන් 91 දෙනෙකු අලුතින් බදවාගෙන එම සේවකයින්ට මාස 20ක කාලයක් සඳහා රුපියල් දාහත්කෝටි, විසි දෙලක්ෂ අසූ දහස් නමසිය හැත්තෑ තුනක (172,280,973) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
මෙම සේවකයින් කාර්යය පැවරුම් ගිවිසුම් මත සහ කාර්යය පැවරුම් පදනම මත බදවාගෙන 2023 වර්ෂයේ ජුනි මස 01 වැනි දින සිට 2025 පෙබරවාරි මස 28 දක්වා කාලය තුළ වැටුප් හා දිමනා වශයෙන් මෙම මුදල ගෙවා තිබුණි.
මෙම සමාගම ඈවර කිරිමේ කටයුතු ආරම්භකර නොතිබු අතර අලුතින් බදවාගනු ලැබු සේවකයින් තෝරාගත් පදනම විගණනය වෙත ඉදිරිපත්කර නොතිබුණි.
එමෙන්ම මෙකී සමාගම මෙහෙයුම්කටයුතු නතරකොට තිබු පසුබිමක් තුළ 2023 වර්ෂයේ ජුනිමස 06 වැනිදින සිට රුපියල් 245,000ක මාසික වැටුපක්මත නියෝජ්‍ය සාමාන්‍යධිකාරි මුදල් තනතුර සදහා සහ මාසික රුපියල් 172,000ක වැටුපක් මත මුල්‍ය කළමණාකරුවන් දෙදෙනෙකු බඳවාගෙන තිබුණි.
මොවුන් බඳවා ගැනිමේ ප්‍රමාණවත් අවශ්‍යතාවයක් විගණනයට නිරික්ෂණය වී නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. නියෝජ්‍ය සාමාන්‍යධිකාරි මුදල් යන තනතුරට බඳවාගත් නිලධාරියා මසක පමණ කාලයක් සේවයේ නිරතවු බවත් පසුව එම තනතුරට කිසිදු බඳවා ගැනිමක් සිදුකර නොමැති බවත් සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.
සේවා අවශ්‍යතාවය මත මුල්‍ය කළමණාකරුවන් දෙදෙනෙකු බඳවාගෙන ඇති බවද කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර තිබේ.
අනාර්කාරී වියදම් අවම කිරීමට හා අමාත්‍ය මණ්ඩල තීරණය නොපමාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
සිමාසහිත මගනැගුම මාර්ග ඉදිකිරිම් යන්ත්‍රෝපකරණ පුද්ගලික සමාගම සම්බන්දයෙන් 2023/2024 ගනුදෙනු පිළිබඳ විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.