gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස්පතිගෙන් පැමිණිල්ලක්... හමුදාව භාරයේ තිබූ LTTE රන් භාණ්ඩ මහ බැංකුවට!

උතුරේ මානුෂීය මෙහෙයුම අතරතුරදී එල්.​ටී.ටී.ඊ. බැංකුවල තිබී සොයාගෙන යුද හමුදාව භාරයේ තබා තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා රන් භාණ්ඩ තොගයෙන් රන් අයිතම පන්දහසකට (5,000) අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (2 වැනිදා) දන්වා සිටියේය.

යුද හමුදා මූලස්ථානයේ ආරක්ෂක සේප්පුවල බහා තිබෙන එම රන් භාණ්ඩ අයිතමයන් නිසි පරිදි ගණනය කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යාලයක්ද තාවකාලිකව එම මූලස්ථානයේ ස්ථාපිත කර ඇතැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම වෙත දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඒ අනුව අදාළ රන් භාණ්ඩවල බර, වටිනාකම ආදී අවශ්‍ය කරුණු ඇතුළත් කර නඩු භාණ්ඩ වශයෙන් ලේඛනගත කරන බවද අධිකරණයට දන්වා සිටියහ.

කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන් යුද හමුදා මූලස්ථානය වෙත පැමිණ අදාළ රන් භාණ්ඩ තොගයේ ඡායාරූප ලබාගන්නා බවත් අදාළ රන් භාණ්ඩ ගණනය කිරීමේ කටයුතුවලට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් ද සහභාගි වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණය වෙත දන්වා සිටියහ.

ශ්‍රී ලංකා යුද හමුදාව භාරයේ රත්රන් තොගයක් ඇති බවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් 2025 අප්‍රේල් 29 වැනිදා කරන ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අධිකරණ නියෝග මත එම රන් භාණ්ඩ ගණනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව භාරයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

යුද හමුදාව භාරයේ මේ වන විට ඇතැයි පැවසෙන කිලෝග්‍රෑම් 80කට අධික රන් භාණ්ඩ තොගයෙන් රන් භාණ්ඩ අයිතම 5182ක් නඩු භාණ්ඩ 3866ක් යටතේ ලේඛන ගතකර ඇති බව අධිකරණයට දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එම රන් භාණ්ඩ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්ෂිත සේප්පු 9ක මේ වනවිට තැන්පත් කර ඇතැයිද අධිකරණය වෙත දන්වා සිටියහ.

එම භාණ්ඩවල ඡායාරූප ඇතුළත් විස්තර වාර්තාවක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළහ.

මෙම සිද්ධියට අදාළ ඉදිරි කටයුතුවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

Aruna
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka