පොහොර ගෙන්වීම සහ බෙදා හැරීමේ පද්ධතිය පෞද්ගලික අංශයට පැවරීමේ රහස් සැලසුමක් රජය විසින් සියුම් ලෙස ක්‍රියාත්මක කරමින් සිටින බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා හෙළි කරයි.
රටේ පොහොර අවශ්‍යතාව සපුරාලීමට මෙතෙක් කටයුතු කළ ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලක් පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම යන ආයතන, ඉදිරි මහ කන්නය වෙනුවෙන් පොහොර ආනයනය කිරීමට රජය විසින් මෙතෙක් අවසර ලබා නොදීම තුළින් මෙම රාජ්‍ය ආයතන තුන වසා දැමීමේ කූට උපාය මාර්ගයක මූලික පියවර ගනිමින් සිටින්නේදැයි තෙන්නකෝන් මහතා ප්‍රශ්න කරයි.
පොහොර ආනයන කටයුතු තෝරාගත් මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට පමණක් පවරා, ඉන්පසු රජය මේ වගකීමෙන් ඉවත්ව යෑම සමස්ත ගොවී ප්‍රජාව අර්බුදයකට ඇද දැමීමක් බව හෙතෙම අවධාරණය කරයි.
පොහොර සැපයුමේ ඒකාධිකාරය සම්පූර්ණයෙන්ම පෞද්ගලිකරණය වීම, මෙරට මිල පාලනයෙන් ගිලිහී ගොස් අවසානයේ ගොවිතැන බිඳ වැටීමට තුඩු දෙන භයානක උත්සාහයක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.