අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් රංගදිසානායක මහතාගේ පත්වීම හා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතල චෝදනා සහ නීතිමය ගැටලු මතු වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ උදය ගම්මන්පිළ මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ගම්මන්පිළ මහතා සඳහන් කරන්නේ, රංගදිසානායක මහතා අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බවට බරපතල හෙළිදරව්වක් හිටපු ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නායකයෙකු සහ හිටපු ජනාධිපති අපේක්ෂකයෙකු වූ නන්දන ගුණතිලක මහතා සිදු කර ඇති බවය.
නන්දන ගුණතිලක මහතා එම කාල සීමාවේදී අදාළ කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ බවත්, රංගදිසානායක මහතා එම රැස්වීම් සඳහා සහභාගී වී අත්සන් කරන ලද පැමිණීමේ ලේඛන තමන් සතුව ඇති බවත් සඳහන් කර තිබේ.
උදය ගම්මන්පිළ මහතා පෙන්වා දෙන්නේ මෙම කරුණ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ රාජකාරිය සම්බන්ධයෙන් බරපතල නීතිමය ගැටලුවක් මතු කරන බවයි. ඒ අනුව, 2023 අංක දරන දූෂණ විරෝධී පනතේ 19 වැනි වගන්තිය මගින් අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ තනතුර අදේශපාලනික විය යුතු බව නිශ්චිතව දක්වා ඇත.
එහි 19(2) උපවගන්තිය උපුටා දක්වමින් නීතිඥ ගම්මන්පිළ මහතා පැහැදිලි නුසුදුසුකමක් පෙන්වා දෙයි:
“අදාළ වන්නා වූ නීතිවල විධිවිධාන යටතේ පවත්වන ලබන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ මැතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, හෝ පළාත් සභා ඡන්ද විමසීම් හෝ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් වල කාර්ය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක යම් තනතුරක් හෝ සාමාජිකත්වයක් දරන හෝ දරනු ලැබූ නම් (අතීතයේ කවරම්ද දරා තිබෙනවා නම්) ඒ පුද්ගලයාට අල්ලස් කොමසාරිස් වෙන්න බැහැ.”
නීතිඥ ගම්මන්පිළ මහතා අවධාරණය කරන්නේ, දූෂණ චෝදනා නිතරම දේශපාලකයන්ට එල්ල වන බැවින්, මෙම පනත යටතේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ස්වාධීන කිරීම පිණිසත්, එමගින් ආණ්ඩු පක්ෂයට විපක්ෂය මර්දනය කිරීමට මෙම බලවත් පනත භාවිත කිරීම වැළැක්වීම පිණිසත් මෙම නීති රීති පනවා ඇති බවයි.
අධ්‍යක්ෂක ජෙනරාල්වරයා තනතුරට පත්වන අවස්ථාවේදී තමන්ට මෙම නුසුදුසුකම් නොමැති බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා දිය යුතු වේ.
ගම්මන්පිළ මහතා පෙන්වා දෙන අන්දමට, දිවුරුම් ප්‍රකාශයක බොරු සඳහනක් කිරීම අධිකරණයේදී දිවුරුමක් මත බොරු කීමට සමාන වන අතර, ඒ සඳහා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වසර හතක සිර දඬුවමක් නියම කළ හැකි ය.
එබැවින්, නන්දන ගුණතිලක මහතාගේ චෝදනාව සත්‍ය වන්නේ නම්, අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් වසර හතක සිර දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට සැක කෙරේ.
නිතරම මාධ්‍යයට පෙනී සිටි නිලධාරියෙකු ලෙස, අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් මෙම බරපතල චෝදනා වහාම මාධ්‍ය හමුවක් මගින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි අපේක්ෂා කළ ද, මේ වනතුරු ඔහු කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති වීම ඔහුගේ විශ්වාසනීයත්වය පිළිබඳ බරපතල ගැටලුවක් මතු කරන බව උදය ගම්මන්පිළ මහතාගේ අදහස වී ඇත.
රංගදිසානායක මහතාට එරෙහිව මීට පෙර ද විවිධ චෝදනා මතු වී ඇති බව උදය ගම්මන්පිළ මහතා සිහිපත් කරයි.
ඒවා අතර, සිය පුතා රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරද්දී, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම, ආදියද ඇතැයි හෙතෙම කියයි.
අල්ලස් කොමසාරිස් ජෙනරාල් තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ අවස්ථාවේ දී, වැඩිම ලකුණු ලැබුණේ වෙනත් අයෙකුට වුව ද, දේශපාලන පක්ෂග්‍රාහීත්වය මත රංගදිසානායක මහතා එම තනතුරට පත් කර ඇතැයිද ඔහු චෝදනා කලේය.
කෙසේ වෙතත්, මේ කිසිදු චෝදනාවක් 100%ක්ම ඔප්පු කළ නොහැකි ඒවා බව ද ගම්මන්පිළ මහතා පෙන්වා දී තිබේ.