gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාසා තීරය එළිමහන් සිරකඳවුරක්! දරුවන්ගේ විලාපය ලෝකයටම ඇහෙනවා! – ජනාධිපති අනුර කුමාර එක්සත් ජාතීන් අමතා කළ කතාව

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පළමු වරට මෙම ගෞරවණීය සභාව ඇමතීමට ලැබීම ගැන ඉමහත් සතුටට පත් වෙනවා. මගේ රට වෙන ශ්‍රී ලංකාව මෙන්ම අනෙක් සෑම රටකම ජනතාව අප වෙත පවරාදුන් ඓතිහාසික වගකීමක් අප සියලුදෙනාගේම උරහිස් මත පැවරී තිබෙනවා. අප ගනු ලබන සෑම තීන්දුවක්ම මේ ලෝකයේ කොතැනක හෝ ජීවත් වෙන සෑම දෙනාටම බලපානවා. ඒ සියලු තීන්දු සහ තීරණ ලෝකයේ අනාගත පැවැත්ම වෙනුවෙන් තීරණාත්මක මැදිහත්වීමක් කරනවා.

මිනිස් ශිෂ්ඨාචාරය ආරම්භ වූ දා සිට මේ දක්වා මුහුණදෙන අතිශයින් බරපතල ඛේදවාචකයක් ලෙස දුප්පත්කම හඳුන්වාදෙන්න පුලුවන්. ඒ මහා ව්‍යවසනය හේතු කොටගෙන නිර්මාණය වූ තවත් බරපතල ගැටලු කිහිපයක් අප ඉදිරියේ අන්ධකාර පීඩාවක් නිර්මාණය කොට තිබෙනවා. ඒ පිළිබඳව මේ සුවිශේෂී සභාවේ අවධානය යොමු කිරඹී කළ යුතුම බවට මගේ හෘදය සාක්ෂිය හඬනගා කියනවා. බොහෝවිට මේ සියල්ල ඔබගේ හෘදය සාක්ෂියටත් අඩු වැඩි වශයෙන් බලපෑම් කරනු ඇතැයි මා සිතනවා. සම්භාව්‍ය නියෝජිතයිනි. ලෝකයේ බහුතරයක් රටවල් සියවස් ගණනාවක් තිස්සේ අත්විඳින නොනවතින සහ අතිශය වේදනාබර අරගලය ලෙස දුප්පත්කම හඳුන්වාදීමට පුලුවන්කම තිබෙනවා. එය විවිධ මුහුණවරින් එන බිහිසුණු සතුරෙක් වන අතර අප මේ සමුළුව රැස්ව සිටින මොහොතේ මාද ඇතුළු මේ සහභාගී වී සිටින රටවල්වල සැලකිය යුතු දරුවන් පිරිසක් කුසගින්නේ සිටිනවා. සියලුම දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මගින් සහතික කර ඇති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පිළිගත් මූලික මානව අයිතියක් වෙනවා. නමුත් නැතිබැරිකම, දුප්පත්කම නිසා මේ අයිතිය උල්ලංඝනය වන ලක්ෂ සංඛ්‍යාත දරුවන් ලෝකය පුරා සිටිනවා. තාක්ෂණයෙන් පිරිපුන්යැයි උදම් අනන ලෝකයක්. පාසල් අහිමි දරුවන් සිටීම මොන තරම් අවාසනාවන්ත තත්වයක්ද?

අධ්‍යාපනය යනු සෑම ශ්‍රේෂ්ඨ ජාතියක්ම ගොඩනගන අත්තිවාරම වෙනවා. අනාගත ලෝකයේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකය වෙනවා. අධ්‍යාපනය උදෙසා කරන ආයෝජනය සංවර්ධනය ලෝකයේ ප්‍රගතිය උදෙසා කරන ආයෝජනයක් ලෙස අප දකිනවා. බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල දුප්පත්කමට මුහුණදීමේ ප්‍රගතියට ණය බර අඛණ්ඩව බාධා කරනවා. බොහෝ අඩු ආදායම්ලාභී රටවල් සෞඛ්‍ය හෝ අධ්‍යාපන සේවා සඳහා ගෙවීමට වඩා දෙගුණයටත් වැඩි අරමුදල් ශුද්ධ පොළී ගෙවීම සඳහා වැය කරනවා.

පුරවැසියන් වශයෙන් මෙන්ම රටවල් වශයෙනුත් ණය උගුල්වල හිර වී සිටිනවා. මේ තත්වයේ සාධනීය විසඳුමක් අවශ්‍ය වෙනවා. තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යායපත්‍රය අත් නොහරින බවටත්, පළමුව පිටිපස සිටින අය වෙත ළඟා වීමටත් පොරොන්දු වී තිබෙනවා. අද ලෝකය පුරා මුහුණ දී තිබෙන විශාලතම අභියෝගය දුප්පත්කම අවසන් කිරීමේ අභියෝගය බව තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යායපත්‍රය හඳුනාගෙන තිබෙනවා. 1995 දී කෝපන්හේග්හි පැවති සමාජ සංවර්ධනය සඳහා වූ ලෝක සමුළුවේදී ගත් තීරණත්මක තීන්දුවක් ඔබේ අවධානයට යොමු කරවනවා.

නමුත් අනපේක්ෂිත යුද්ධ, දේශපාලන ව්‍යාකූලතාවයන් වගේම ලෝකයම කුණාටුවකට හසුකළ කොවිඩ් වසංගතය නිසා අභිලාශකාමී න්‍යායපත්‍රය ව්‍යාකූලත්වයට පත් කර තිබෙනවා. ඒ නිසා ඇති නැති පරතරයේ දුප්පත්කම ලෝක ව්‍යවසනයක් ලෙස සලකා කටයුතු කළ යුතුව තිබෙනවා.

ගරු සභාපතිතුමියනි, ගෞරවණීය අමුත්තනි. මේ අසිරිමත් ග්‍රහලෝකය අස්ථාවරත්වයටත් ව්‍යාකූලත්වයටත්  පත් වන නවතම ගැටලුවක් ලෙස මත්ද්‍රව්‍ය හා ඒ හා බැඳුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනාගන්න පුලුවන්කම තිබෙනවා. ඒ බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය 2025 ලෝක වාර්තාවේ පවා තහවුරු කොට තිබෙනවා. ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව ලොවපුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ ගැටලුවක් වී තිබෙනවා. දිනෙන් දින මත්කුඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගෝලීය වෙළඳපළ වාර්තාගත ලෙස ආක්‍රමණය කොට තිබෙනවා. මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ඒ සමගම ක්‍රියත්මක අපරාධ ලෝකය අර්බුද රැසකට මාර්ගය විවෘත කොට තිබෙනවා. මේවාට සම්බන්ධ කණ්ඩායම් රාජ්‍යයන් ගොදුරු බිම් බවට පත් කරමින් තිබෙනවා.

මේ ව්‍යවසනයෙන් ලෝක සෞඛ්‍යයට ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට, ලෝක දේශපාලනයට සේම අවසන් වශයෙන් ලෝකයේ යහපැවැත්මට එරෙහි මහා ප්‍රවාහයක් බවට පත් වී තිබෙනවා. මේ මහා ව්‍යවසනය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අප සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින අතර මේ උවදුරට පිටුදැකීමේ ලෝක න්‍යායපත්‍රය සක්‍රීය කිරීමට මා ඔබට ගෞරවයෙන් ආරම්භ කරනවා. මේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම, එවැනි ජාවාරම්කරුවන්ට තම තමන්ගේ රටවල්වලට සංක්‍රමණය වීමේ ඉඩ ප්‍රස්ථා අවුලුවාලීම මේවාට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථාන පිහිටුවීම වැනි කරුණු කෙරෙහි මම ඔබගේ  අවධානයට යොමු කරවනවා.

දූෂණය සමාජයේ පුළුල් පරාසයක සමාජය ඛේදවාචකයකට හේතුවන වසංගතයක් ලෙස අප විශ්වාස කරනවා. දූෂණය සංවර්ධනයට බාධාවක්. ප්‍රජාතන්ත්‍රවාදයට සහ ලෝකයේ යහපැවැත්මට තීරණාත්මක තර්ජනයක් සහ දුප්පත්කමට හේතුවක් වන බව අපගේ ස්ථාවරය වෙනවා. දූෂණයට එරෙහි සටන භයානකයි. නමුත් දූෂණයට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි යන්න මම ඔබට ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. 1948 දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ලෝකයේ මිනිස් ප්‍රජාවට විශාල ජයග්‍රහණයක් ගෙනාවා. මානව ශිෂ්ඨාචාරයේ විවිධ ජයග්‍රහණයන් එක් රැයකින් ලැබී නැහැ. ඒ සියල්ල අප්‍රමාණ කැප කිරීමේ සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵල. දූෂණයට එරෙහි සටනත් අසීරු පියවරක්. එහෙත් අපි ඒ පියවර තැබිය යුතුයි.

අප තබන පළමු පියවර අසීරු විය හැකියි. නමුත් අප නිර්භීතව තබන පියවර නිවැරදි නම් ඒ පියවර පිටුපස තවත් පියවර දහස් ගණනක් අප සමඟ ඒවියැයි මා විශ්වාස කරනවා. ගරු සභාපතිතුමනි, නියෝජිතවරුනි. නිර්භීත වන්න, ඉතුරු සියල්ල ඉබේම වේවියැයි ජවහර්ලාල් නේරු කළ ප්‍රකාශය මේ මොහොතේ සිහිපත් කරනවා. මම නියෝජනය කරන්නේ මිලියන 22ට ආසන්න ජනගහනයක් ජීවත්වෙන පුංචි දීප්තිමත් දිවයිනක්. ශ්‍රී ලංකාවේ ජනගහනය ආසන්න වශයෙන් මුළු ලෝක ජනගහනයෙන් සීයට දශම තුනක් පමණ වෙනවා.

අපේ රට වගේම රටේ සිටින ජන සංඛ්‍යාව ප්‍රමාණාත්මකව සංඛ්‍යාත්මකව කුඩා බව ඇත්ත. ඒත් අපේ රටේත් ලෝකයේත් මතු පරපුර වෙනුවෙන් දූෂණයට එරෙහි සටන අපි ආරම්භ කොට තිබෙනවා. දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතුයි කියා මා යෝජනා කරනවා.

ඔබ කුමන රාජ්‍යය නියෝජනය කළත් මේ සෑම නියෝජිතයෙක්ම යුද්ධය ප්‍රතික්සේප කිරීමට මා සමඟ එක්වන බව මට විශ්වාසයි. යුද්ධයක් ප්‍රාර්ථනා කරන ජාතියක් ලොව නෑ. කොතැන හෝ කෙසේ යුද්ධයක් හෝ ගැටුමක් ඇති වුණත් ඒ හරහා ඇති වන්නේ ඛේදවාචකයක් බව අපි දන්නවා. මේ මොහොතේ පවා ඒ ඛේදවාචකයේ වේදනාව ලෝකයේ බොහෝ තැන්වල අත්විඳිමින් ඉන්නවා. දශක තුනකට වැඩි කාලයක් යුද්ධයේ කටුක අත්දැකීම් ලැබූ රටක් ලෙස එහි විනාශකාරී බව ගැන අපි ඉතා හොඳින් දන්නවා. යුද්ධය නිසා ඇති වූ දහස් ගණනක් සැමරුම්  ස්මාරක අසලට පැමිණි ඔවුන්ගේ දෙමාපියන් දූ දරුවන් බිරින්දෑවරුන් දෑත් එක් කරගෙන නගන වේදනාබර ආයාචනය දකින ඕනෑම කෙනෙක් යුද්ධයක සිහිනයක් දැකීමට පවා දැකීමට අකමැති වෙනවා. ඒ වේදනාබර දසුන අපි ඇස්දෙකෙන් දැක තිබෙනවා. ගැටුම් නිසා මිනිස්සුන්ට විඳින්න සිදු වී ඇති දුක් පෙර නුවූ විරූ මට්ටමට ළඟා වී තිබුණත් බොහෝ විට ජාත්‍යන්තර ප්‍රජාව මිලියන ගණනකගේ දුක් වේදනා අවසන් කිරීමට අපොහොසත් වූ හුදු නරඹන්නෙකු බවට පත් වී තිබෙනවා. දරුවන්ගේ සහ අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත එහා මෙහා පහරවදිමින් යන පාපන්දුවක් බවට පත් කිරීම අවස්ථාවාදී බල දේශපාලනයේ ඛේදවාචයක් වී තිබෙනවා. තවත් කිසිවෙකුගේ ජීවත්වීමේ අයිතියට පීඩා කිරීමට කිසිවෙකුටත් අයිතිය නෑ. පාලකයන් කළ යුත්තේ ජීවිත ආරක්ෂා කිරීම මිස ජීවිත විනාශ කිරීම නොවේ. ගාසා තීරයේ සිදුවන අඛණ්ඩ ව්‍යවසනය අපගේ දැඩි කණස්සල්ලට හේතු වී තිබෙනවා.

විශේෂයෙන් ගාසා තීරය වේදනාබර, ඛේදනීය එළිමහන් සිර කඳවුරක් වී තිබෙනවා. අහිංසක දරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ විලාපය රැව් පිළිරැව් දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත දෙපර්ශ්වය කඩිනමින් සටන් විරාමයකට යොමු වීමත්, බාධාවකින් තොරව සියලු මානුෂික ආධාර කෙරෙහි යොමු වීමත් සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳ අපි හඬ නගනවා. මේ බිහිසුණු ඝාතන අවසන් කිරීම උදෙසා අපි දැඩිව බලපෑම් කළ යුතුව තිබෙනවා. පලස්තීන ජනතාවට රාජ්‍යයක් සඳහා අහිමි කළ නොහැකි අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ ජනතාව යන දෙපිරිසේම නිත්‍යානුකූල ආරක්ෂක සහ මානව ගැටලු හඳුනාගත යුතුව තිබෙනවා. 1967 දේශසීමා මත පදනම්ව රාජ්‍යක් දෙකක් එකිනෙකට යාබදව පැවතීමට පදනම සපයන එක්සත් ජාතීන්ගේ යෝජනා මත පදනම් වූ සාධාරණ සහ ස්ථීර විසඳුමක් වෙනුවෙන් එක්විය යුතුව තිබෙනවා. නිරර්ථක යුද්ධයක් හේතුවෙන් මිලියන ගණනක් ලෝක වාසීන්ගේ දුක් වේදනා ඉදිරිපිට හුදු නරඹන්නෙකු බවට පත් වීම අවසන් කළ යුතු තීරණාත්මක මොහොතකට අප එළැඹ සිටිනවා. මිනිස් සංහතිය තුළ ලෝකය පීඩාවට පත් කළ යුධ ගැටුම්වලට උමතු ආගමික අන්තවාදය සහ ජාතිවාදය බරපතල ලෙස හේතු වී තිබෙනවා. වහල්භාවය අහෝසි කොට සියවස් ගණනක් ඉක්ම ගොස් ඇතත් වර්ගවාදී විස තවමත් තැන තැන තිබෙන බව සිහිපත් කළ යුතුයි. අන්තවාදී සහ ජාතිවාදී අදහස් මාරාන්තික වසංගත රෝග තරමටම සාහසික වී තිබෙනවා. හාස්‍යයට සහ විමතියට කරුණ වන්නේ මේ තරම් ඉදිරිගාමී ලෝකයක් තුළ පවා ජාතිවාදී වර්ගවාදී ඝෝෂාවන් තවදුරටත් අළු යට ගිනිපුපුරු සේ ඉතිරිව තිබීමයි. එහි බිහිසුණු තත්වය වන්නේ ඉතාමත් තීරණාත්මක ලෙස විශ්වයේ යහපැවැත්මට එරෙහිව අවස්ථාවාදී ලෙස ඒ ගිනිපුපුරු විටින් විට මහා ගිනි ජාලාවක් බවට පත් කිරීමයි. ආයුධ මගින් ප්‍රශ්න විසඳනවා වෙනුවට මානව ශිෂ්ඨත්වයේ වටිනාකම්වලින් ප්‍රශ්න විසඳාගැනීම වෙත අපි අවතීර්ණ විය යුතුව තිබෙනවා. මිලියන ගණනක් දරුවන් කුසගින්නේ මියයන ලෝකයක අපි බිලියන ගණනින් ආයුධ වෙනුවෙන් වියදම් කරනවා. නිසි සෞඛ්‍ය පහසුකම් නොමැතිව කෝටි ගණන් ජනතාව මරණය තෝරාගන්නා විට නිරර්ථක යුද්ධය වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරනවා. අධ්‍යාපන නමැති පියාපත් ලබබන්නට බැරිව ලක්ෂ ගණන් දරුවන් සුසුම් හෙළන විට භූමියේ ආක්‍රමණය කරන්නට බිලියන ගණන් වියදම් කරනවා. ඇත්තටම ලෝකයේ සෑම බිම් අඟලක්ම සාමයේ ජනාවාස බවට පත් කළ හැකි නම් ලෝකයේ ආශ්චර්යමත් ලෝකයක් බවට පත් වෙන බව ඒකාන්තයෙන්ම අපි විශ්වාස කරනවා. මේ සමුළුවට එක් වූ අපි සියලුදෙනා ලෝක සාම ජනාවාස බිහිකරන උදාර සාම වන්දනාකරුවන් බවට පත්වෙමු කියා මා යෝජනා කරනවා.

ඓතිාහසික මැතිවරණයකදී ශ්‍රී ලාංකික ජනතාව සියවස් ගණනක් වෙනුවෙන් තීන්දුවක් ගත් බව මා ඔබට සිහිපත් කරනවා. එයින් බිහි වූ ව්‍යවස්ථාදායකය විවිධත්වයකින් සහ විචිත්‍රත්වයකින් යුක්ත වුණා. එක් අතකින් රටේ සමස්ථ නතාව ආණ්ඩුව කෙරෙහි දැඩි විශ්වාසයක් තැබුවා. තව අතකින් දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු කාන්තා සහ සෙසු ජාතීන්ගේ නියෝජනයක් පෙන්නුම් කළා. පාර්ලිමේන්තුව තුළ ඇති වූ මෙම විවිධත්වය ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය තුළ ජනවාර්ගික විවිධත්වය තහවුරු කරනවා වගේම සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් සහ අවස්ථාවන් ලබාදීම සඳහා අප තුළ ඇති කැපවීම නැවත බලගන්වනු ලබනවා. ඒ අනුව මහජනතාවගේ නියෝජිතයන් යනු මහජනතාවට සේවය කරන්නන් මිස අනිසි වරප්‍රසාද ලබා ගන්නන් නොවන බව අපි ආදර්ශයක් ලබා දී තිබෙනවා. ජනතා නියෝජිතයන්ගේ වගකීම විය යුත්තේ රට හා ජනතාව සංවර්ධනය කිරීම මිස පෞද්ගලිකව තමන් සංවර්ධනය වීම නොවන බව අප විශ්වාස කරනවා.

අන්ධකාරය වෙනුවට ආලෝකයේ මාවත තෝරාගත් අපේ රටේ ජනතාව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සඳහා වූ ප්‍රායෝගික දැක්මට ජනතා ආශිර්වාදය ලබා දී තිබෙනවා. මේ ඓතිහාසික ජයග්‍රහණය මල්ඵල ගැන්වීම සඳහා දූෂණයෙන් තොර සදාචාරත්මක පාලනය, දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල්කරණය සහ පිරිසිදු රටක් යන ප්‍රධාන තේමා කෙරෙහි අපේ අවධානය යොමු කර තිබෙනවා. ඊට සමගාමීව අධ්‍යාපනය සහ සෞඛ්‍ය කෙරෙහි අපි අවධානය යොමු කර තිබෙනවා.

ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය අපගේ නව ඉලක්කයයි. ලෝකයේ ඇති අභියෝගය වන්නේ සෑම පුද්ගලයෙකුටම සහ සෑම රාජ්‍යයකටම ඩිජිටල් යුගයේ අවශ්‍යතාවට ප්‍රවේශ වීමට හැකි බවට සහතික වීමයි. අප සාර්ථක වුවහොත් තාක්ෂණයට ප්‍රවේශ වීමේ ඉඩ ප්‍රස්ථා විවර වීම, සංවර්ධනය වේගවත් වීම සහ පාලනය ශක්තිමත් වීම වැළැක්විය නොහැකි වෙනවා. නමුත් එසේ කිරීමට අප අසමත් වුවහොත් තාක්ෂණය අසමානාත්මතාව, අනාරක්ෂිතභාව සහ අයුක්තිය ඇති වීමට හේතුවන තවත් බලවේගයක් බවට අප විශ්වාස කරනවා. ඩිජිටල් මෙවලම් වෙත ප්‍රෙව්ශ වීමට නොහැකි රාජ්‍යයන් අතර ඩිජිටල් පරතරය පැහැදිලිව පවතිනවා. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ඊටත් වඩා ඔබ්බට විහිදුණු පරතරයක් මතුවෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ බොහෝ රටවල් මෙන්ම ලොවපුරා තවත් බොහෝ රටවල් සංවර්ධනයේ මෙවලමක් ලෙස කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීමට යටතල පහසුකම් අවම වීම බලපාලා තියෙනවා.

අප නව ලෝකයක්, බොහෝ යහපත් ලෝකයක් මිනිසාගේ සදාකාලික ගෞරවයට හේතුවන ලෝකයක් නිර්මාණය කළ යුතුයි. මෙම සමුළුවේ සාමාජිකයන් වන ඔබ වඩා හොඳ ලෝකයක් නිර්මාණය කරන ගෘහ නිර්මාණ ශිල්පීන් විය යුතුයි. අපගේ අනාගතය ඔබේ අතේ යනුවෙන් 1945 එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ ප්‍රඥප්තිය පිහිටුවීමට සමගාමීව ඇමෙරිකන් ජනාධිපති හැරී ටෘමන් කී දෙය සිහිපත් වෙනවා. අප ක්‍රියා කළ යුත්තේ බියෙන් හෝ බැඳීමකට යටත්ව නොව බලාපොරොත්තු පෙරදැරිවයි. වඩා යහපත් ලෝකයක් උදා කරගත හැකි මෙන්ම එය වඩා සමීපයැයි යන අපේක්ෂාව පෙරදැරි කරගෙනයි. ව්‍යවසනයට ලෝකය රැගෙන යනවා වෙනුවට මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වූ පරපුරක් ලෙස මෙම සමුළුවේදී අපේක්ෂා කරගමු.

මට මගේ රට ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. ඔබට ඔබගේ රටවල් ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. මගේ රටේ ජනතාව සතුටින් පිරුණු පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සිහිනය වෙනවා. ඔබේ රටවල ජනතාවටත් එවැනි ජීවිතයක් උරුම කර දීම ඔබගේ සිහිනය බව මා විශ්වාස කරනවා. ඒ සියලු සිහින වෙනුවෙන් අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් යනුවෙන් මා විශ්වාස කරනවා.

නිරෝගී ධරණි තලයක, සාමය ගෞරවය සමානාත්මතාව වෙනුවෙන් කැපවෙමු යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආදර්ශපඨයේ සඳහන් වෙනවා. එය ලෝකයේ සැබෑ ලෙසම පිළිසකර කරන්නන් බවට පත්වෙමුයි කියා යෝජනා කරනවා.

බෙහෙවින්ම ස්තූතියි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka