සංවිධානාත්මක අපරාධ හා මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති පවුම් 40 ක් වටිනවා රන් පැහැති භාණ්ඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ඉදිරිපත් කර එහි සභාපතිවරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ (4) පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට නියෝග කළා.
අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිට අද පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකාර කාන්තාව මෙම මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණයෙන් නියම කෙරුණා.
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකාර කාන්තාව අතැතිව සිටි ඇගේ තුන්
හැවිරිදි දැරිය සැකකාරියගේ පියා භාරයට පත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
සැකකාරිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණයට අදාල පූර්ණ සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කොට තිබෙනවා.
දින කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි සැකකාර කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ මෙම මෙම සැකකාර කාන්තාව සංවිධානාත්මක අපරාධකරුවකු වන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ බවට හඳුනාගෙන ඇති බවය.
විදේශ රටකදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් අතර සිටි මෙම සැකකාර කාන්තාව පසුගියදා මෙරටට පැමිණෙන අවස්ථාවේදී තුන් හැවිරිදි දැරියකද සමඟ ඇය ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.
ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී පවුම් හතලිහක් වටිනා රන් පැහැති භාණ්ඩ කීපයක් අත්අඩංගුවට ගත් බවත් එම භාණ්ඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යවා එහි සභාපතිවරයාගේම වාර්තාවක් කැඳවීමට නියෝගයක් ලබා දෙන ලෙසද විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
එම රන් පැහැති භාණ්ඩ ඇයට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව හා එහි වටිනාකම් පිළිබඳව මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දන්වනු ලබුවා.
මිද්දෙණිය ප්‍රදේශයේ යතුරුපැදියක යමින් සිටි කජ්ජා නමැත්තෙකු හා ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට මෙම සැකකාරිය හා මේ වන විට පොලිස් රැඳවුම් භාරයේ සිටින ඇගේ සැමියා වන බැකෝ සමන් නැමැත්තා සම්බන්ධ බවට කරුණු අනාවරණයවී ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූවා.
මත්ද්‍රව්‍ය කිලෝ තිහක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට එරෙහිව ඇඹිලිපිටිය මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් එම මත්ද්‍රව්‍ය කිලෝ තිහ බැකෝ සමන්ට හා ඔහුගේ බිරිඳට අයත් ඒවා බව එම සැකකාර පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දී ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.
එම පුද්ගලයා සතුව තිබූ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මෙම සැකකාරිය විදෙස් ගතව ඇති බවට කරුණු අනාවරණය වන බවද එම නිලධාරීන් අධිකරණයට දැණුම් දුන්නා.
මෙම සැකකාරිය හා ඔහුගේ සැමියා වන බැකෝ සමන් නැමැත්තා විදෙස් රටවල්හි සැඟව සිට මෙරට ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවා ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පවසා සිටියා.
සැකකාරිය සම්බන්ධ විමර්ශන අවසන් කර නොමැති බැවින් ඇය ඇපමත මුදා නොහරින ලෙසද විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
සැකකාරය වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේ ඇයගේ සැමියා වන බැකෝ සමන් නමැත්තා මෙම සැකකාරියාගේ ස්වාමිපුරුෂයා බවත් ඔහු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ඇති බවට විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා සිටියත් ඔහුගේ බිරිඳවන මෙම සැකකාරිය එවැනි සංවිධානාත්මක අපරාධවලට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ නොමැති බවය.
සිය සැමියා සිටින ස්ථානයන් වෙත යාමට බිරිඳකට සිදුවන බවත් ඒ අනුව බැකෝ සමන් නැමැත්තා සමග ඇය විදෙස්ගතව ඇති බවද ඔහු සමග සිටියා යැයි කියන පදනම මත තම සේවා දායිකාවට එරෙහිව චෝදනා නැගීම අනුමත කළ නොහැකි බවද නීතිඥවරිය පැවසුවා.
මුදල් විශුද්ධීකරණ පණත යටතේ ඇය අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඇයට එරෙහිව කිසිදු චෝදනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැති බවද නීතිඥවරිය අධිකරණයට පෙන්වා දුන්නා.
තම සේවාදායිකාව කුඩා කාලයේ පටන් ඇයගේ හෘදයේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ශල්‍ය කර්මයක් පවා සිදුකර ඇති බවත් ඇය තෙහැවිරිදි දැරියකගේ මවක් බවද නීතිඥවරිය අධිකරණය හමුවේ පැවසුවා.
තම සේවා දායිකාවට අදාළ විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇති බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇය ඇපමත මුදා හරින ලෙසද නීතිඥවරිය අධිකරණයේ ඉල්ලා සිටියා.
විමර්ශන නිලධාරීන් හා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලුවම මහේස්ත්‍රාත්වරයා සැකකාරිය මෙම මස 18 දින දක්වා එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබුවා.
බන්ධනාගාර ගත කර සිටින කාලය තුළ සිය දැරිය තමා ළඟ තබා ගැනීමට කැමතිදැයි මහේස්ත්‍රාත්වරයා සැකකාරියගෙන් විමසූ අවස්ථාවේ සිය දරුවා තමාගේ පියාට භාරදීමට කැමති බව ඇය මහේත්‍රාත්වරයා වෙත දැනුම් දුන්නා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කාලය තුළ සිය දරුවා තමා ළඟට ගැනීමට අවශ්‍යතාවයක් තිබේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා ඇයට නියෝග කරනු ලබුවා.