ලොතරැයි දිනුමකින් හිමිවූ රුපියල් කෝටි 9.6කට අධික මුදලක් හපුතලේ ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවකගෙන් වංචා කළ පුද්ගලයන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලොතරැයි අලෙවි නියෝජිතයෙකුද මෙම සැකකරුවන් අතර වන බව වාර්තා වේ.
පසුගිය 2024 වසරේ සැප්තැම්බර් 18 වන දින පැවති 'ධන නිධානය' ලොතරැයියේ 1630 දරණ දිනුම් ඇදීමට අදාළව මෙම කාන්තාවට හිමිව තිබූ රුපියල් 96,298,759.58ක මුදල මෙලෙස වංචා කර ඇත. අදාළ ලොතරැයි පත අලෙවි කළ නියෝජිතයා, තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග එක්ව, ජයග්‍රාහී කාන්තාව නොමග යවා ඇය වෙනුවට තමන් එම මුදල දිනා ඇති බව අඟවා වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී හෙළි වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධ විශේෂ විමර්ශන ඒකක දෙකක් විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.