හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව ඊයේ (12) දහවල් වෙඩි තබා ඝාතනය කළේය.
ඔහුගේ අන්වර්ථ නාමය වුයේ බානාය . ගමේ ඇත්තෝ ඔහුට “බානා මන්ත්‍රී” කියාත් කීහ. ශාන්තව ඝාතනය වන්නේ මීගොඩ ප්‍රදේශයේ දී ය.
මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී අද දහවල් 1:10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. ඝාතනය සිදුවී සුළු වේලාවකට පසු වෙඩික්කරු සහ මෝටර් රථයේ රියදුරු ඝාතනයට යොදා ගත් ගිනි අවිය ද සමග අත්අඩංගුවට ගත්තේය. එම අත් අඩංගුවට ගැනිම සිදුකරන්නේ තලංගම පොලිසිය විසිනි.
ඝාතනය වූ අයුරු
ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටිය දී ශාන්ත මුදුන්කොටුව ඝාතකයින්ගේ ඉලක්කයට ලක් වී තිබිණි. වෙඩි වැදුන ශාන්ත වෙඩි පාර කාගෙන යතුරුපැදියෙන් පැන මර බියෙන් අසල නිවසකට දිව ගොස් තිබිිණි.
නිවසේ සිට ඇත්තේ කාන්තාවකි. ඔහු ඇයට කතා කර තමන්ට වෙඩි වැදී ඇති බවත් හැකි ඉක්මනින් රෝහලකට රැගෙන යන ලෙසත් ඉල්ලා අසල නවතා තිබූ ත්‍රී රෝද රථයකට ගොඩ වන්නට උත්සාහ කර ඇත. ඒ සමගම මේ වෙඩි කෑ මිනිසා බිම ඇද වැටී තිබිනි.
ඔහු සිය ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් හැකි සෑම උත්සාහයක්ම දරන අයුරු අසල සිටි කාන්තාව දුටුවාය. බිම වැටී සිටි මේ වෙඩි කෑ මිනිසා සිය ජංගම දුරකථනයෙන් අයෙකුට ඇමතුමක් ගැනීමට ශාන්ත උත්සාහ කර තිබිණි. නමුත් ඒ උත්සාහය ව්‍යර්ථ වූයේය.
අසල්වැසියන්ට විශාල මැදිහත්වීමක් විය හැකි තත්ත්වයක් තිබුණේ නැත. ඔවුන් කළේ වහාම 119 අමතා පොලිසියට සිද්ධිය සැල කිරීමය. පොලිසිය පැමිණ වෙඩි කෑ ශාන්ත මුදුන්කොටුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළේය. එහෙත් බෙහෙවින්ම ප්‍රමාද වැඩිය. ශාන්ත මුදුන්කොටුව ඒ වනවිටත් අවසන් ගමන් ගොස්ය.
වෙඩි තිබ්බේ කවුද?
සිද්ධිය වූ වහාම පොලිසිය ක්ෂණික මාර්ග බාධක දැම්මේය. සැක කටයුතු සෑම වාහනයක්ම පරීක්ෂාවට ලක් කළේය. තලංගම දී සැක කටයුතු සුදු පැහැති මෝටර් රථයක් පරික්ෂා කරන්නේ ඒ අනුවය.
පොලිසිය සාර්ථක විය. ශාන්ත මුදුන්කොටුවගේ ඝාතකයා පැමිණ තිබුණේ මේ මෝටර් රථයෙනි. තවදුරටත් කළ පරීක්ෂාවේ දී මිලි මීටර 9 වර්ගයේ පිස්තෝල ගිනි අවියක් පොලිසිය සොයා ගත්තේය. එහෙත් එන අතර මග දී ඝාතකයා මග දී මෝටර් රථයෙන් බැස ගොස් තිබිණි. රියදුරා සහ කාර් රථය පොලිස් අත් අඩංගුවට පත් වූයේය.
අත්අඩංගුවට පත්වූ රියදුරාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ විය. එම ප්‍රශ්න කිරීමේදී වෙඩික්කරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත. එම තොරතුරු අනුව හඹා ගිය පොලිසිය අද හවස තලංගම පාලම් තුන හන්දිය අසල දි වෙඩික්කරු අත් අඩංගුවට ගත්තේය. ඔහු සමග තවත් පුද්ගලයෙක් ද පොලිස් අත් අඩංගුවට පත් විය.
මේ වෙඩි තැබීම දැනට රටින් පැන ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් මිනීමරුවෙක් වූ ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ නැමැත්තාගේ මෙහෙයවීමෙන් සිදුවූ අපරාධයක් බව මේ වනවිට මූලික විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
ශාන්ත මුදුන්කොටුව හෙවත් බානා කවුද ?
ඔහු 45 හැවිරිදිය පුද්ගලයෙකි. පදිංචිය පාදුක්ක, වටරැකය. හෝමාගම ප්‍රදේශිය සභාවේ හිටපු සභිකයෙකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක්ම නියෝජනය කරමින් ඔහු ප්‍රාදේශීය සභාවේ සභිකත්වය ලබාගෙන තිබිණි. ගමේ ඇත්තන් ඔහුට කීවේ බනා මන්ත්‍රි’ කියාය.
ඔහු ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කර තිබිණි. ඉඩම් සහ ඉදිකිරිම් ක්ෂේත්රයේ ව්‍යාපාරයක් ඔහු කරගෙන ගියේය. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඔහු මීට දින කිහිපයකට ඉහතදී මීගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ද ගොනුකර ඇති බව වාර්තා වෙයි.
බානා මන්ත්‍රීත් හොඳ කැරැට්ටුවක් ඇති අයෙක් නොවේ. ඔහු ලලිත් කන්නංගරගේ නම පාවිච්චි කරමින් විවිධ පුද්ගලයින්ගෙන් කප්පම් ලබාගෙන ඇති බව පොලිසිය කීවේය. එමෙන්ම ඔහු ගගන නම් සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.
තමන්ගේ නම විකුණා කප්පම් ගන්නා “බානා මන්ත්‍රී”ට ලලිත් කන්නංගර උත්තර දුන්නා විය හැකිය. කෙසේ වෙතත් අප දකින්නේ නිමාවක් නැති ඝාතනයන්ය. මාලිගාවත්තේ තරුණයින් පස් දෙනාට වෙඩි තබා ඉන් දෙදෙනෙක් ඝාතනය කර තවත් දෙදෙනෙකුගේ ජීවිත දැඩි සත්කාර ඒකකයට භාර දී තවත් දින දෙකක් නැත.
මේ පාතාල කල්ලිවල එළිපිට මරා ගැනීම් අවසන් කළ යුතු කාලය පැමිණ ඇති බව නම් කිව යුතුව ඇත. එය රජයේ සාධනීය පැවැත්මට ද බලපාන බැවිනි.