Lanka Hot News ජොන් කීල්ස් හා රේගුව අතරඅභියාචනාධිකරණයේ විභාගවෙමින් ඇති රේගුව විසින් BYD 1000ක් රඳවා ගැනීමේ නඩුවට ස්ථිර තීන්දුවක් ප්‍රකාශවී නොතිබියදී,
ලබන සැප්තැම්බරයේ තවත් BYD කාර් තොගයක් ලංකාවට එන බවට පුරාසාරම් දොඩවමින් John Keells CG Auto (Pvt) Ltd හි කාර්ය මණ්ඩලය එම රථවලට පාරිභෝගිකයින්ගෙන් රුපියල් ලක්ෂ 600,000/- ක අත්තිකාරමක් ලබාගනිමින් සිටින බව වාර්තා වේ.
කෙසේවුවද, ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටි BYD වාහන 991 ක් මුදා හරිනු ලැබුවේ කොන්දේසි කිහිපයකට යටත්ව වන අතර John Keells CG Auto (Pvt) Ltd එය පාරිභෝගිකයන්ට තව දුරටත් වසන් කරමින් පාරිභෝගිකයන්ගෙන් අදාළ අත්තිකාරම් ගැනීමට උත්සාහ කරන බව වාර්තා වේ.
සරලව ම ජෝන් කීල්ස් ආයතනයට BYD වාහන 991 මුදා හැරීමට එකඟවූයේ අදාළ වාහනවල බදු අතර පවතින පරතරය ලෙස ගණනය කර තිබෙන රුපියල් 3,552,909,200/- (රුපියල් බිලියන 3.6 කට ආසන්න) මුදල රාජ්‍ය බැංකුවක ඇපකරයක් වශයෙන් පෙත්සම්කාර සමාගම (ජෝන් කීල්ස් සී ජී සමාගම) තැන්පත් කිරීමට එකඟවීම මතය. එසේම, එම ඇපකරය සඳහා අදාළ වන පොලිය පෙත්සම්කාර සමාගම ගෙවීමට එකඟ වී තිබේ.
ඊට අමතරව අදාළ වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝ වොට් 100 ද නැතිනම් 150 ද යන්න නිගමනය කිරීම සඳහා පේරාදෙණිය හා මොරටුව විශ්ව විද්‍යාලවල තාක්ෂණික විශේෂඥයින් දෙදෙනෙකු, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයෙකු , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරියකු ඇතුළත් කමිටුවක් පත් කිරීම සම්බන්ධ කොන්දේසියට ද ජෝන් කීල්ස් එකඟ වී තිබේ.
එසේම, නීතිපතිවරයා සමග සාකච්ඡා කර මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව අදාළ වාහනවල මෝටරයේ ධාරිතාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මෝටර් රථ තත්ත්ව පරීක්ෂණාගාරයකින් වාර්තාවක් කැඳවීමට ද එකඟව සිටී.
මේ සියල්ලෙන් ගම්‍ය කරන්නේ අදාළ BYD වාහන ප්‍රශ්නය තවමත් විසඳී නොමැති බවයි.
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අප පසුගිය දින තුන පුරාවට ජෝන් කීල්ස් සී ජී සමාගමේ නිලධාරීන් ස්ම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අතර, එහිදී එම ආයතනයේ විකුණුම් නිලධාරීන්ගෙන් අප අසන ලද ප්‍රශ්න බර වැඩි බව පවසමින් ඒවාට පිළිතුරුදීමට එහි ඉහල නිලධාරියකු සම්බන්ධ කරන බව පැවසුවද මෙතෙක් අදාළ ඇමතුම අපවෙත නොලැබීම සම්බන්ධයෙන් අප කනගාටු වෙමු.
ඔවුන් වෙත ඉදිරිපත් කළ සහ ඉදිරිපත් කිරීමට සූදානම්වූ ප්‍රශ්න කිහිපය මෙසේය.
01. යම් අවස්ථාවක අදාළ බදු පරතරය රේගුවට ගෙවීමට සිදුවුවහොත් එම බදු මුදල ගෙවියයුතුවන්නේ සමාගමද? පාරිභෝගිකයාද?
02. රේගුවට බදු පරතරය ගෙවීමට සිදවුවහොත් අදාළ මෝටර් රථයේ වටිනාකම අභියෝගයට ලක්වනවානේද?
(උදාහරණයක් ලෙස මෙසේ ගෙවීමට ඇති බදු පරතරය රුපියල් මිලියන 55කට ආසන්න වන බැවින් එය සාමාන්‍යයෙන් බ්‍රව්න්ස් මෝටර්ස් ගෙන්වනු ලබන බ්‍රැන්බි මෝටර් රථයකට සමානයි නේද? එවිට මේ මෝටර් රථයේ මිල නොවටිනා මිලක් නේද?)
03. බදු ගෙවීම පාරිභෝගිකයා පිට පැටවුණහොත් පාරිභොගිකයාට මෝටර් රථයේ මුදල් ගෙවීමට නොහැකි වුවහොත් එය රාජසන්තක වනවා නේද?
04. 90%ක ලීසිං පහසුකම් ලබාගෙන ඇති හා ලීසිං පහසුකම් ලබාගෙන ඇති පාරිභෝගිකයන්ගේ ලීසිං වාරික මිල ඉහල යාම සම්බන්ධයෙන් කළ හැකි පිළියම කුමක්ද එයට සමාගම සතුව සැලැස්මක් තිබේ ද? ඇත්නම් එය ඉදිරිපත් කළ හැකිද?
05. යම් හෙයකින් මේතරම් විශාල බද්දක් ගෙවා අදාළ මෝටර් රථය හිමිකර ගැනීමට පාරිභෝගිකයකු අසතුටුවුවහොත් පාරිභෝගිකයා අදාළ වාහනයට ගෙවා ඇති මුළු මුදලම සමාගම නැවත ලබාදෙනවද? එවැනි අවස්ථාවක සමාගමේ කොන්දේසි දානවද?
06. අවසන් වශයෙන් ඔබ සමාගමේ PR ඒජන්සිය ලවා තාර්කික උත්තර ලබා නොදී පාරිභෝගිකයාට පිළිගත හැකි සමාගම වගකියන පිළිතුරක් පාරිභෝගිකයන් වෙනුවෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.