gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදේශිකයනුත් ඇතුළු වෙලා මහා මුදල් විශුද්ධිකරණයක්! බදු වගන්තිත් හැලිලා! ‘භයානක හීනයක්’ හෙවත් ලංකාවේ කැසිනෝ කෙළිය!

කොළඹ සිටි ඔෆ් ඩී්‍රම්ස් හෝටල් පරිශ්‍රයේ විවෘත කෙරුණු කැසිනෝ ව්‍යාපාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගිය 06 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දක්වා සිටියා. පහත පළවන්නේ එම මාධ්‍ය හමුවේදී රණවක මහතා දැක්වූ අදහස්වලින් කොටසකි.
අපි කල්පනා කළා සාකච්ඡා කරන්න වැදගත් මාතෘකාවක්. ඒක තමයි මේ රටේ නියාමනයකින් තොරව සිදුවන කැසිනෝ ව්‍යාපාරය. සිටි ඔෆ් ඩී්‍රම්ස් නමැති ආයෝජනය විවෘත වෙලා ටික දවසක් දැන්. නමුත් එහි කැසිනෝ සමාජ ශාලාවත් එක්ක ඒක උත්සවශ්‍රීයෙන් විවෘත කළා. එම ආයෝජනය ගැන අපි සතුටු වෙනවා. එම ආයෝජනය කාලයක් අපේ අමාත්‍යාංශය යටතේ තිබුණේ. ඒක ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ. එතැන තිබිච්ච එලිෆන්ට් හවුස් ඉඩමේ. නමුත් ඒකේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතුවල ඉංජිනේරුමය ප්‍රශ්න විශාල ප්‍රමාණයක් අපි විසඳලා දුන්නා. ඒ වගේම අපේ මහනගර අමාත්‍යාංශයෙන් ඒ අවට කලාපයේ තිබිච්ච ලෝක බැංකු ව්‍යාපෘතියත් එක්ක අපෙනුත් මුදල් ආයෝජනය කරලා අපි විධිමත් විදියේ ජලයත් එක්ක යන සංවර්ධනයක් අපි දියත් කළා. තව කොටසක් ඒගොල්ලන්ට කරන්න තියෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය හරහා යන කොටස බේරේ වැවේ කොටස කරන්න ඉතුරු වෙලා තියෙනවා. කොහොම නමුත් අපි සතුටු වෙනවා. එකක් දේශීය ආයෝජනයක් හැටියට, දෙක අතිවිශාල ආයෝජනයක්, ඩොලර් මිලියන 900කට අධික ආයෝජනයක් සිද්ධ කිරීම ගැන.

ඒ වගේම මෙතැනදි අපි අදහස් කරන්නේ ඒ සංවර්ධන කතාවට වඩා මේ කැසිනෝ පිළිබඳ කතාව ගන්න. කැසිනෝ ඉතිහාසය ගත්තොත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ 1988 ඒ කාලේ ඔට්ටු හා සූදු පනත ගෙනාවා. අපි කවුරුත් දන්නවා ඒ කාලේ ජැක්පොට් නමින් ක්‍රීඩාවක් ව්‍යාප්ත වෙලා තිබුණා. ඒ වගේම බුකී රේස් ව්‍යාපාරය තිබුණා. ඒක නියාමනය කිරීම සඳහා 1988 අංක 40 දරන ඔට්ටු හා සූදු පනත ගෙනාවා. පසුව ජෝසිම් එක්ක ඇති වෙච්ච ප්‍රශ්න මත ඔහු රටින් පිටුවහල් කළා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස. ඊට පස්සේ 2010 දී මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනාවා අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර පනත. ඒ කැසිනෝ ව්‍යාපාර පනත ගෙනාපු අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළා ලංකාවට කැසිනෝ නීත්‍යනුකූලව ගේනවා. ඒ වෙනකොටත් කැසිනෝ බලපත්‍ර හතරක් ලංකාව තුළ ක්‍රියාත්මක වුණා. නීත්‍යනුකූලව කරනවා රටේ එක්තරා විශේෂ ප්‍රදේශයකයි මේක කෙරෙන්නේ කියලා. කාලයක් කිව්වා කල්පිටිය ප්‍රදේශය කියලා, ඊට පස්සේ කිව්වා වරාය නගරයේ කියලා, ඊට පස්සේ කිව්වා ඩී.ආර්. විජේවර්ධන මාවත අසල ප්‍රදේශයේ, වෙන කොහේවත් මේක කරන්න දෙන්නේ නෑ කියලා. ඒක තමයි ඒ 2010 පනත අනුමත කරගන්නා අවස්ථාවේදී රටට ආණ්ඩුවක් හැටියට දීපු පොරොන්දුව.
ඊට පස්සේ මේ කැසිනෝ ප්‍රශ්නය ආවා. මේක ගැන කියන්න ඕනේ 2022 ඉඳන් මේ වෙනකොට ගැසට් නිවේදන පහක් ගහලා තියෙනවා. 2022දී ආර්ථික අර්බුදයත් එක්ක, 2022 අටවැනි මාසේ 31 වැනිදා බලපත්‍ර ගාස්තුව අවුරුද්දකට රුපියල් මිලියන 500යි කියලා ගැසට් එකක් ගැහුවා. ඒ වෙලාවේ රටේ ආර්ථික අර්බුදයත් එක්ක අලුත් නිර්ණායක එක්ක ආපු එකක්. ඊළඟට 2024දී බලපත්‍ර ගාස්තුව බිලියන 10ක් කළා. ඒ වගේම ඩොලර් මිලියන 250ක හෝ 500ක ආයෝජනයක් කියලා කිව්වා. බලපත්‍ර ගාස්තුව බිලියන 10ක් හෝ 5ක් කියලා කිව්වා. ඊට පස්සේ ආයේ 2024දී ඒ කියන්නේ ඒක මැතිවරණ වසරක්. ඒක තමයි මේකේ තේරුම් ගන්න ඕනෙ එක. නැවත මේ ගැසට් නිවේදනය වෙනස් කළා. අන්තිමටම 2024 මේ ගැසට් නිවේදනය අඩු කරලා අඩු කරලා ගිහිල්ලා ඔය බිලියන 10 කතාව අඩු කරලා රුපියල් මිලියන 500ට අඩු කළා. අඩු කරලා බලපත්‍ර 10ක් ලබාදීමේ උත්සාහයක් ඒ ආණ්ඩුව දැරුවා. ඒකෙන් ප්‍රධාන බලපත්‍ර දෙකක් තමයි මැජෙස්ටික් ප්‍රයිඩ් කැසිනෝ කියන එක නෙලුම් කුළුණේ කරන එක, අනික බ්ලූ හෙවන් සර්විස් ලිමිටඩ් කියලා ඔය සිටි ඔෆ් ඩී්‍රම් ආයතනයේ කරන කැසිනෝව.

දැන් මේකෙදි කරුණු කීපයක් අතීතයේ මතක් කරගන්න ඕනේ. කවුරුත් දන්නවා 2014 මේ ප්‍රශ්නේ මතුවෙච්ච වෙලාවේ අද චිරප්‍රසිද්ධ වීඩියෝවක් සමාජ මාධ්‍යවල සැරිසරනවා. ජනාධිපති අනුර දිසානායක ඒ කාලේ විපක්ෂයේ ඉඳන් කරපු කතාව, තෝන් ගැනීම පිළිබඳ කතාව. ඒ පනතට එදා අපි ජාතික හෙළ උරුමය හැටියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ඇතුළේ ඉඳන්. ඔය ජාතිමාමක, දේශප්‍රේමී කියන හුඟාක් දෙනෙක් වලිගය පිටිපස්ස පැත්තේ ගහගෙන ඉන්නකොට අපි කැබිනට් මණ්ඩලයේදීත්, ආණ්ඩු පක්ෂ රැස්වීමේදීත්, මේ පිළිබඳ තිබ්බ රැස්වීම් වලදීත් විවෘතව මේ පිළිබඳ විරුද්ධව කතා කළා. ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහත්මයත් නම්‍යශීලී වෙලා යම් යම් සංශෝධන ගෙනාවා. එකක් තමයි ඔහු ගෙනාපු වැදගත් ප්‍රතිපත්තියක්, ඒ වෙනකොට බලපත්‍ර හතරක් නිකුත් කරලා තිබිච්ච හින්දා ඒ බලපත්‍ර හතරට වඩා වෙනස් කිසිම බලපත්‍රයක් නිකුත් කරන්නේ නෑ කියලා රටට දීපු පොරොන්දුව. අන්න ඒ පොරොන්දුව තමයි 2024 දී උල්ලංඝනය කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව. අන්න ඒ පොරොන්දුව තමයි උල්ලංඝනය කරලා තියෙන්නේ අනුර දිසානායක මහත්තයාගේ ආණ්ඩුව. ඒකයි අපි මේ අවධාරණය කරන්නේ රටට දීපු පොරොන්දුව.

ඒ වගේම කැසිනෝ එක්තරා ප්‍රදේශයකට සීමා කරනවා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා දීපු පොරොන්දුව සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කළා. ඔහුත් උල්ලංඝනය කළා, ඊට පස්සේ තියෙන හැම ආණ්ඩුවමත් උල්ලංඝනය කරලා තියෙනවා, අනුර දිසානායක මහත්තයත් උල්ලංඝනය කරලා තියෙනවා. ඒ වගේම යහපාලන කාලේ ඉතාම නිශ්චිත කැබිනට් තීරණයක් ගත්තා මේ අයට මින් ඉදිරියට කැසිනෝ බලපත්‍ර ලබාදෙන්නේ නෑ, මොකද සිංගප්පූරුවට තියෙන්නේ දෙකයි, මැලේසියාවට තියෙන්නේ එකයි, ඉන්දියාවට තියෙන්නේ පහයි, ඇයි ලංකාවට කැසිනෝ බලපත්‍ර දෙන්නේ කියන පදනම මත බලපත්‍ර හතරකට සීමා කළා. විශේෂයෙන්ම 2015 කැබිනට් තීරණය මේ වෝටර් ෆ්‍රන්ට් ඩිවලොප්මන්ට් එකේ, ඒ කියන්නේ ඔය දැන් ජෝන් කීල්ස් ඩිවලොප්මන්ට් එකට දෙන්නේ නෑ අලුතෙන් බලපත්‍ර කියන එක තීරණය ගත්තා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? මොකද ඒ යහපාලන ආණ්ඩුව බලයට පත්වුණේම ඔය කැසිනෝ විරෝධී ජනතාවට ඒ පොරොන්දු ලබාදීලා. දැන් ඒවා හුඟක් අයට මතක නැතුව ඇති යහපාලනයේ ඉන්න අයට. අපි දැක්කා යහපාලනයේ හිටපු හුඟාක් දෙනෙක් එතැනට ගිහිල්ලා ඉන්නවා අපේ හිටපු ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු පිරිස. ඒ පොරොන්දුවක් දීලා තමයි ඇවිල්ලා ජනවරම ගත්තේ. ඒ වරමට එරෙහිව තමයි අද ගිහින් තියෙන්නේ.

ඊට පස්සේ 2024 දී මා සභාපතිත්වය දරපු වේස් ඇන්ඩ් මීන්ස් කොමිටියේදී අපි තීරණයක් ගත්තා මේ කැසිනෝ ව්‍යාපාරවල බදු පිළිබඳව. මම කනගාටුවෙන් වුණත් කියනවා මේ රටේ සූදුරු, මාදුරු, පාන්පිටි, කිරිපිටිවලට බදු ගහපු රටේ කැසිනෝවලට බදු ගහන්න ගියේ නෑ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. බොහොම අමාරුවෙන් තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලවා මේ එන්ට්‍රන්ස් ෆී එක පවා අයකරගන්න අපිට ඒ කාලේ කරන්න සිද්ධ වුණේ. ඒ වගේම රජයේ මුදල් කාරකසභාව, එහෙම නැත්නම් කොප් එෆ් එකේ ඒ අවස්ථාවේ හර්ෂ ද සිල්වා මහත්මයාට පොඩි ප්‍රශ්නයක් වෙලා ඔහුට සභාපතිත්වය දීලා තිබුණේ නෑ. නමුත් ඔහු තමයි ඒ කාලේ දිගටම සභාපතිත්වය හිටියේ. අපි බොහොම පැහැදිලිව කිව්වා නව නියාමන පනතකින් තොරව කැසිනෝ ව්‍යාප්ත කරන්න බෑ කියලා ලංකාව ඇතුළේ. ආප්ප කඩ කරනවා වගේ. එතකොට 2024 ජුනි 30ට කලින් නව පනතක් ගේන බවට මුදල් අමාත්‍යාංශය පොරොන්දු වුණා. ඒ කමිටුවේ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මහත්මයත් හිටියා. ඒ වගේම අනුර දිසානායක මහත්මයත් අනිත් කමිටුවේ හිටියා. ඒ අපි ඔක්කොගෙම එකඟතාවයෙන් තමයි ඒක කළේ. ඒ පනත ගෙනාවේ නෑ. ඒ පනත ගේන්නේ නැතුව ඡන්දෙට ගියා. දෙසැම්බර් 30 පනත ගේනවා කිව්වා. දැන් පනතේ ඩ්‍රාෆ්ට් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඩ්‍රාෆ්ට් එකේ ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි මේ බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳ මම කලිනුත් කිව්වා ගැසට් හතරක් ගැහුවා කියලා. යම් නිශ්චිත ක්‍රමවේදයක් දෙන්න ඕනේ මේ බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය. නැත්නම් මේක හිතවතුන්ට මත්පැන් බලපත්‍ර දෙනවා වගේ, කැසිනෝ බලපත්‍ර දෙන ක්‍රමයක්, සූදුව නීතිගත කරන ක්‍රමයක් තමයි මේ සිදුකරගෙන යන්නේ. එක. දෙක මේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේ කැසිනෝ හරහා මුදල් විශුද්ධිකරණයක් වෙනවාද කියන එක. කිසිම මහබැංකුවේ හෝ වෙනත් බැංකුවක වාර්තාවක් නෑ දැනට ක්‍රියාත්මක දේශීය ව්‍යාපාරිකයන් විසින් කරගෙන යන කැසිනෝ ව්‍යාපාරය හරහා මුදල් විශුද්ධිකරණයක් වෙනවද නැද්ද කියන එක ගැන. ඒ වගේම බදු ප්‍රතිපත්තිය ගැන. මොකද ඒගොල්ලෝ දෙන බදු ප්‍රතිපත්තිය තමයි පිළිගන්න වෙලා තියෙන්නේ. මට හොඳට මතකයි පැමිණීමේ ලේඛන පරීක්ෂා කරලා බැලුවහම දේශීය කැසිනෝවල, මම කීප වතාවක් කියලා තියෙනවා, 10ක් 13ක් අතර ප්‍රමාණයක් තමයි දවසකට ඇවිල්ලා තියෙන්නේ. මේ කාටවත් පිළිගන්න පුළුවන් ඉලක්කම් නෙවෙයි. ඉතින් කොහොම වුණත් විධිමත් බදු ප්‍රතිපත්තියක් නෑ. කියන්න කනගාටුයි, මේ රටේ සෑම මිනිහගෙන්ම වත්කම් බැරකම් ඉල්ලන අය මේ කැසිනෝ රැමිස් පද්ධතියට එකතු කරලා නෑ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ඒක ඉතාමත්ම වැදගත්. මේ හැම මිනිහටම නඩු දානවා. මේ මෑතදි මම දැක්කා මැතිවරණ කොමිසම කියලා තියෙනවා, වත්කම් බැරකම්, ලාභ අලාභ පෙන්නපු නැති මිනිස්සුන්ට අපේක්ෂකයෝ දස දහස් ගානකට නඩු දානවා කියලා. හැබැයි මේවට කිසිම නීතියක් ක්‍රියාත්මක වෙලා නෑ.

මුදල් විශුද්ධිකරණය නතර කිරීමට තියෙන එකම මග තමයි විධිමත් බැංකුවක් හරහා මේ ගනුදෙනු කිරීමට විශේෂ ගිණුමක් ඇති කරන්න කියලා අපි යෝජනාවක් කළා මේ පනතට. ඒ මේ පනතෙන් අනුර දිසානායක මහත්තයා ඒ වගන්තිය ඉවත් කරලා තියෙනවා. ඒ වෙනුවට නැවත වතාවක් පරණ ක්‍රමයට මුදල් විශුද්ධිකරණයට අවශ්‍ය ඉඩකඩ මේ ජාවාරම්කාරයන්ට කරන්න ඔහු ඉඩකඩ ලබාදීලා තියෙනවා. මෙවර ප්‍රශ්නේ තමයි මෙවර දේශීය ව්‍යාපාරිකයෝ නෙවෙයි, කෙළින්ම විදේශීය ව්‍යාපාරිකයන්ට චීනයේ සහ ඉන්දියාවේ ව්‍යාපාරිකයන්ට මේක විවෘත කරලා දීලා තියෙනවා. දැන් මේකේ ඇතිවෙන අනිත් සමාජීය බලපෑම් මොනවද කියලා කවුරුත් දන්නවා. ඒක අනුර දිසානායක මහත්තයා කතාවෙත් තියෙනවා. පාතාල කල්ලි, ුඅපි දන්නවා කොහොමද අද පාතාල කල්ලිවල සල්ලි, ඒවා කළු සල්ලි සුදු කරන්න, ඩුබායි යන්නේ නැතුව දැන් ලංකාව ඇතුළෙන්ම ඒ වැඩ ටික කරගෙන යෑමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ඒකත් එක්ක එන අනෙකුත් දේවල්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, මේ කැසිනෝවලට මිනිස්සු ඇබ්බැහි වීම. අපි දන්නවා නුගේගොඩ ප්‍රදේශයේ ඉතාම ප්‍රසිද්ධ වැදගත් විදිහට කාලයක් කටයුතු කරපු ටියුෂන් ගුරුවරයෙක්, ඔහු කොහොමද බංකොලොත්භාවයට පත්වුණේ, අන්තිමට සිර ගෙදරට ගියේ කියලා කැසිනෝවලට ඇබ්බැහි වීම නිසා. දේශීය මුදල් හොයාගන්න මිනිස්සු මේ කැසිනෝවලට ඇබ්බැහි කරලා හිඟමනට වට්ටලා, හිර ගෙවල්වලට දාන මට්ටමක් ඇති වෙනවා. එතකොට මේවා පාලනය කරන්න මොකක්ද තියෙන ක්‍රියාදාමය කියන ප්‍රශ්නේ මේ පනතේ අපිට තියෙනවා. ඒ වගේම නැවත වතාවක් මේ මුදල් ඇමැතිවරයාට බලතල අරගෙන තියෙනවා. දැන් මේ නියාමන අධිකාරියක් පිහිටුවන එක හොඳයි. මේ නියාමන අධිකාරිය ස්වාධීන වෙන්න ඕනේ ඒක කරන්න නම්.

අද මේ නවීන තාක්ෂණයත් එක්ක එදා නොතිබිච්ච ප්‍රශ්නයක් තමයි ඔන්ලයින් සූදුව. ඔන්ලයින් සූදුව ඉතාම බරපතළ විදිහට යනවා. ඒවට කිසිම බදු අය කිරීමක් නෑ. ඒවා බදු අයකරගන්න තත්ත්වෙට රටේ නියාමන අධිකාරිය ඇතුළට ගන්න තත්ත්වෙට කිසිම ප්‍රතිපාදනයක් මම නම් දැක්කේ නෑ මේ නව පනත තුළ. ඒක අනිවාර්යයෙන්ම ඇති කළ යුතුයි. ඊළඟට මේවා උල්ලංඝනය කරන අයට දඩ අයකරන්නේ කොහොමද කියන එක ගැනත් නිසි අවධානයක් යොමුවෙලා නෑ. ඉතින් ඒ නිසා මේ විදිහට කැසිනෝ ඇති කර කර, ආප්ප කඩ ඇති කර කර අර කියනවා වගේ බූරු පොළේ තෝන් ගන්නවා වගේ කරන ක්‍රියාවලියෙන් මුදල් විශුද්ධිකරණයට අත්තටු දීමක් තමයි කරලා තියෙන්නේ. කලින් දේශීය ව්‍යාපාරිකයෝ කරපු දේ දැවැන්ත විදේශීය ව්‍යාපාරිකයන්ට කරන්න ඉඩකඩ ලබාදීමක් තමයි මේ සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා විධිමත් විදිහට වහාම මේ පනත ගෙන එන්න. දෙකයි පනහේ වැඩ, පෙටී කෑෂ් හොරකම් අල්ලා අල්ලලා අපි හොරු අල්ලනවා කිය කියා දඟලන්නේ නැතුව, පුළුවන් නම් සිංගප්පූරුවේ කරලා තියෙනවා වගේ විධිමත් විදිහට මේ ගනුදෙනු සිද්ධ කරන එකවුන්ට් එකක් හරහා යන්න. ඒ වගේම රටට 2014 දී දීපු පොරොන්දුවට අනුව මේ බලපත්‍ර හතරෙන් පිට මේ දේ කිරීම වළක්වන්න පියවර ගන්න කියන එක අපි ජනාධිපතිට කියනවා. එහෙම නැත්නම් අපිට විශ්වාස කරන්න වෙනවා මේ ආණ්ඩුව අර ගල් අඟුරු කල්ලියත් එක්ක ගියා වගේ, ඩීසල් මාෆියාවත් එක්ක ගියා වගේ, කැසිනෝ මාෆියාවේ අතකොලුවක් බවට ජනාධිපති කාර්යාලය පත්වෙලා තියෙනවා කියන එක කනගාටුවෙන් වුණත් නිගමනය කරන්න සිද්ධ වෙනවා. මේ පනත බලවත් වූ විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අදාළ අනුමැතිය ලබා නොගත්තොත්.

මාධ්‍යවේදියා
දැන් අර වාහන ආනයනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. බී.වයි.ඩී. වාහන ගෙන්වීමේදී විශේෂයෙන්ම බදු සහ ඒ සම්බන්ධයෙන් රේගුවේ ප්‍රශ්නයක් ඇවිල්ලා වාහන රඳවාගෙන තිබෙනවා. මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ඉල්ලලා තියෙනවා මේ කරන්න කියලා. ඒක මොරටුව විශ්වවිද්‍යාලයට භාර දෙන්න කියලා යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. සමහර අය ඒකට විරුද්ධ වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේත් ඒ සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශයට පත් කරලා තියෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරු පවා. මේ තත්ත්වය කොහොමද ඔබතුමා දකින්නේ?

පාඨලී චම්පික රණවක
පළමු කාරණේ විදුලි වාහන මේ රටට ගේන්න අවශ්‍ය කරන පසුබිම හැදුවේ අපි 2015දී. මොකද විදුලි වාහන, දෙමුහුන් වාහන මේ රටේ අනාගතයට ඉතා අවශ්‍යයි. හැබැයි ඒකට වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. චාජින් සෙන්ටර්ස් තියෙන්න ඕනේ. ලංකා විදුලිබල මණ්ඩලයේ අය ක්‍රමයක් තියෙන්න ඕනේ. මොකද විශේෂයෙන්ම අපේ ගල් අඟරු බලාගාරය රෑ නමය හමාරේ ඉඳන් දුවන්නේ අඩු මට්ටමෙන් නිසා, ඒ ගල් අඟරු බලාගාරයේ පූර්ණ ප්‍රයෝජනය ළඟා කරගන්න පුළුවන් වෙන්නේ විදුලි වාහන තිබුණොත් තමා. හැබැයි ඒකට එහෙම විධිමත් වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ බැටරි සැපයීම පිළිබඳ විධිමත් වැඩසටහනක් තියෙන්න ඕනේ. අපිට එහෙම දෙයක් පේන්නේ නෑ මේ වාහන ආව පමණින්. මොකද කලින් විදුලි වාහන මිලදී ගත්ත අය ලොකු අමාරුවක වැටිලා තියෙනවා දැන් මේ සැපයුම් සහ නඩත්තු පැත්තේ. ඒ වගේම කාර්මික විද්‍යාලවල මේ පාඨමාලා අරවා මේවා ඔක්කොම පටන් ගන්න ඕනේ.

ප්‍රශ්නෙට ආවොත් ප්‍රශ්නේ තියෙන්නේ මම දැකපු විදිහට මේ බී.වයි.ඩී. වාහනවල ධාරිතාව කිලෝවොට් 150ද, 100ද කියන එක. 150ට මෝටරේ හදලා 100 ඩික්ලයාර් කරලා 100ට බදු අයකරපු බව තමයි කියන්නේ. ඒ වගේම මේ 100ට අය කරන බද්දයි, 150ට අය කරන බද්දයි ගත්කල එක වාහනයකට රුපියල් මිලියන තුනක, ලක්ෂ 30ක වෙනසක් තිබෙන බව කියනවා. ඒක රේගුව තමයි පැහැදිලි කළ යුත්තේ. නමුත් මට ඇහිච්ච විදිහට ලක්ෂ 30ක පමණ වෙනසක් තියෙනවා. එතකොට වාහන 1000ක් දැනට රේගුවේ හිරවෙලා තියෙනවා නම්, ඒකේ අදහස බිලියන තුනක්, මිලියන 3000ක් රටට ආදායම් අහිමි වෙලා කියන එක. වැදගත්ම කාරණේ මේක හොයාගන්න කලින් වාහන 4000කට ආසන්න ප්‍රමාණයක් රට ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ එතනත් මිලියන 12,000ක පමණ, ඒ කියන්නේ බිලියන 12ක පමණ ආදායමක් රටට අහිමි වෙලා තියෙනවා. දැන් සමහරු මට ඇහුණා කියනවා මේක රටේ ලොකුම සමාගම, ජෝන් කීල්ස් සමාගම, ඒක ප්‍රශ්න කරන්න බෑ වගේ එකක්, නිකන් රේගුවට තර්ජනයක් හැටියට. ඒ වගේම මොරටුව විශ්වවිද්‍යාලය මේකට සුදුසු නෑ කියන එක. ඒ වගේම අර පෝර නැව වගේ මේකට චීනයෙන් අන්තර්ජාතික බලපෑම් එල්ල වේවි කියන එක. අපි දැක්කා ජපානය ඒගොල්ලන්ගේ කන්සර්න් එකක් දීලා තිබුණා මේ ජපන් වාහනවලට බදු වැඩියි, ඒවට තරග කරන්න බෑ ලංකා බිමේ කියලා. නිල නොවන වාර්තාවලින් කියනවා ඇමෙරිකාව කියනවා ඇමෙරිකාවේ වාහන ගන්න ඕනේ අපිත් එක්ක ගනුදෙනු කරනවා නම් සීරෝ ටැක්ස්වලට. අපි දන්නේ නෑ රජයේ මොකක්ද අනාගත ප්‍රතිපත්තිය කියලා.
කොහොම වුණත් එහෙම දෙයක් වෙලා තියෙනවා නම් මොරටුව විශ්වවිද්‍යාලය ඒකට සුදුසුකම් තියෙනවා. මොරටු විශ්වවිද්‍යාලයේ විදුලි දෙපාර්තමේන්තුවට, කාර්මික දෙපාර්තමේන්තුවට. ඒ පිළිබඳ හොයලා බලලා බදු අයකරගත යුතුයි සමාගමේ ලොකු පොඩි භේදයකින් තොරව. ඒ වගේම එහෙම ප්‍රශ්නයක් වෙලා නැත්නම් ඒ පිළිබඳ වගකීම රේගු දෙපාර්තමේන්තුව භාරගත යුතුයි. ඒකෙන් යම්කිසි පාඩුවක්, හානියක් අදාළ සමාගම්වලට, පාරිභෝගිකයන්ට වුණා නම්, ඒකේ වගකීම රේගු දෙපාර්තමේන්තුව භාරගත යුතුයි. මේ දෙකේම වගකීම තියෙන්නේ මුදල් ඇමැතිවරයා හැටියට අනුර දිසානායක මැතිතුමාට.

ඒ වගේම අපිට ආරංචියි දෙමුහුන් වාහන, ඒ කියන්නේ දෙමුහුන් වාහනයේ ඉන්ධන එන්ජිමකුත් තියෙනවා, විදුලි මෝටරයකුත් තියෙනවා. දෙමුහුන් වාහනවලටත් අතිරේක බද්දක් ගහන්න දෙමුහුන් වාහනවල ධාරිතාවත් බලන්න යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා අපිට ආරංචියි. ඉතින් මේ හැම එකෙන්ම පේන්නේ මේ ක්ෂේත්‍රය මුළුමනින්ම අධෛර්ය කිරීමේ ව්‍යාපාරයක් දෝ මේ යන්නේ කියන ප්‍රශ්නෙත් මේකෙන් පැන නැගෙනවා. ඉතින් ඒ කොහොම වුණත් මේ ආයතනය ලංකාවේ ලොකුම කොම්පැනිය, ලෝකේ ලොකු රටක් එක්කයි මේ ගනුදෙනු කරන්නේ කියලා බියවැද්දීම නෙවෙයි සිදුවිය යුත්තේ. යුක්තිය ඉෂ්ට කරගන්න ඕනේ. බදු යුක්තිය මේ රටේ මිනිස්සුන්ට ඉෂ්ට කරගන්න ඕනේ. ලොකු සමාගම්වලට එක විදිහකටත්, පොඩි මිනිස්සුන්ට සූදුරු මාදුරුවලින් තව විදිහකටත් මේක කරන්න බෑ. හැබැයි එහෙම ප්‍රශ්නයක් නැත්නම්, එහෙම අයුක්තිසහගත තත්ත්වයක් නම් මේ රේගුව කරලා තියෙන්නේ, ඒ පිළිබඳ වන්දි ගෙවීමේ වගකීමත් රේගු දෙපාර්තමේන්තුවට යනවා. කොහොම වුණත් මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණය අපක්ෂපාතීව, ස්වාධීනව පවත්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Patali Champika Ranawaka
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka