පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූවේ ‘කාදිනල්තුමා සොයන මහ මොලකරු ජූඩ් ප්‍රනාන්දු පියතුමා ද යන සාධාරණ සැකයක් ඇතිවී තිබෙන බවයි.
සිය පක්‍ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවදී ඔහු මේ බව පැවසුවේය.
ලංකාව 1971 සිටම විවිධ ත්‍රස්ත ප්‍රහාර සිය ගණනකට ලක් වුණු රටක්. දෙපාරක් දළදා මාලිගාවට පහර දුන්නා. ගහන තුරු දන්නේ නෑ. ශ්‍රී මහ බෝධියට පහර දුන්නා. ගහන තුරු දන්නේ නෑ. මහ බැංකුවට පහර දුන්නා. ගහලා යනතුරුම දන්නේ නෑ. නමුත් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ බුද්ධි අංශ විසින් ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ඉතාම කලින් ලබා දෙනවා. ඒ පාස්කු ප්‍රහාරය. ප්‍රහාරයට දින 12කට කලින් සිටම අනතුරු ඇඟවීම කරනවා. අපේ බුද්ධි අංශ ලබා දුන්නු තොරතුරු වල ගහන්නේ කවුද? ගහන්නේ කොහොමද? ගහන්නේ කොහාටද? ගහන්නේ කවදාද? ප්‍රහාරකයන්ගේ නම්, ලිපිනයන්, ජාතික හැඳුනුම්පත් අංක, දුරකතන අංක, පවුලේ විස්තර, ගෙදරට එන වෙලාව සහ යන වෙලාව, සැඟවී සිටින තැන්. ත්‍රස්තවාදි ප්‍රහාරය නවත්වා ගන්නට තවත් මොනවාද ඕනේ?
ලංකාවේ නොවේ මම දන්නා තරමින් ලෝකයේ කිසිම රටකවත් බුද්ධි අංශ විසින් ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ මෙතරම් තොරතුරු ලබා දීලා නෑ. අපේ බුද්ධි අංශ සහරාන්ගේ ත්‍රස්තවාදි ක්‍රියා පිළිබඳ 2013 සිට බුද්ධි වාර්තා 340ක් පොලිසියට ලබා දීලාත් ප්‍රහාරය පිළිබඳ තොරතුරු සියල්ලම ලබා දීලාත් ප්‍රහාරය වලක්වා ගන්න අසමත් වෙනවා. බුද්ධි අංශවල වගකීම තොරතුරු ලබා දීම. ඒක පාස්කු ප්‍රහාරයේ දී ඉහටත් උඩින් සිදු වෙනවා. ඒ තොරතුරු මත ක්‍රියාත්මක වෙන්න ඕනි පොලිසිය. පොලිසියයි මෙතැන දී අසමත් වෙන්නේ. මේ තොරතුරු ලබා දුන්නු බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා සේවයෙන් නෙරපා හරිනවා. තොරතුරු සියල්ලම ලැබිලා ප්‍රහාරය වලක්වා ගන්න අසමත් වුණු රවි සෙනෙවිරත්න මහතාට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය ලබා දෙනවා. ප්‍රහාරය වලක්වන්න උත්සාහ කළ නිලන්ත ජයවර්ධන මහතාව ඉවත් කරන්නෙත් කාදිනල්තුමාගේ ඉල්ලීමට. ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරිය රවි සෙනෙවිරත්න මහතාට උසස්වීම ලබා දෙන්නෙත් කාදිනල්තුමාගේ ඉල්ලීමට. මේක සැක කටයුතු නැද්ද?
නිලන්ත මහතාට විනය පරීක්ෂණයක් පවත්වන්න පත් කළ කමිටුව ඔහු තමන්ගේ රාජකාරිය හරියටම ඉටු කරලා තිබෙනවා කියලා තීරණය කලා. ඊට පස්සේ ඒ වාර්තාව කුණු කූඩයට දාලා නැවත කමිටුවක් පත් කලා. ඒකෙන් තමයි නිලන්ත මහතා වැරදිකරු කලේ. ඒකෙන් බැරි වෙලාවත් නිවැරදිකරු කලා නම් තවත් කමිටුවක් පත් කරනවා. එසේ අසාධාරණ විධියට වැරදිකරු කිරීම පිළිබඳ ජූඩ් ප්‍රනාන්දු පියතුමා ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වුණා. ස්වාධීන පොලිස් කොමිසම කරපු එකකට ජනාධිපතිතුමාට ස්තූති කරන්නේ මොකටද? මේක ස්වාධීන පොලිස් කොමිසම ගත් තීන්දුවක් නොවේ, ජනාධිපති විසින් කොමිසමට බලපෑමක් කරලා ගත්තු තීන්දුවක් කියන එකනෙ මේ කියන්නේ.
ජූඩ් ප්‍රනාන්දු පියතුමා නිලන්ත මහතාව එල්ලා මරා දැමිය යුතුයි කියා ප්‍රකාශ කලාම සිරිල් ගාමිණි පියතුමා ඒක පල්ලියේ මතය නොවේ එතුමාගේ පෞද්ගලික මතය කියා ප්‍රකාශ කරනවා. ජූඩ් ප්‍රනාන්දු පියතුමා පල්ලියේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරලා තිබෙන්නේ පල්ලියේ මතය කියන්න මිස පෞද්ගලික මතය කියන්න නොවේ.
එතුමා මීට කලින් පිල්ලෙයාන් සම්බන්ධව බොරු වැලක් කිව්වාම මම කිව්වා දස පනතේ අටවන නියමය තමයි “බොරු නොකියව” කියන එක. දස පනත නොදන්නා බයිබලය නොදන්නා ජූඩ් ප්‍රනාන්දු පියතුමා පල්ලියේ මාධ්‍ය ප්‍රකාශක තනතුරින් නෙරපා දමන්න කියා. නමුත් ඒක එදා නොකළ නිසා දස පනතේ පස්වන නියමය වන “මිනී නොමරව” කියන එකත් උල්ලංඝණය කලා. දෙවියන් වහන්සේ කෙනෙකුට ලබා දුන් ජීවිතය උදුරා ගත හැක්කේ දෙවියන් වහන්සේට ම මිස තවත් මිනිසෙකුට නොවේ කියන එකයි ඒ නියමයේ පදනම. ඒ නිසා තමයි 2018 දී පාප්තුමා විසින් පල්ලිය මරණ දඬුවමට විරුද්ධයි කියලා නිල වශයෙන්ම ප්‍රකාශ කලේ.
පල්ලියේ මාධ්‍ය ප්‍රකාශක දස පනතත් කඩමින් බොරු කියනවා නම් පල්ලිය කළ යුත්තේ එතුමාව වහාම මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කිරීමයි. එසේ ඉවත් කරන්නේ නෑ කියන්නේ ඔහු කියන දේට පල්ලිය වග කියන බව අපි ඉතාම ගෞරවයෙන් කාදිනල්තුමන්ට සිහිපත් කරනවා.
තොරතුරු දුන්නු කෙනාව එල්ලා මරන්න යෝජනා කරමින් තොරතුරු ලැබිලාත් ප්‍රහාරය වෙන්න ඉඩ දීලා බලා හිටිය රවි සෙනෙවිරත්න මහත්තයාව වර්ණනා කරමින් වරින් වර බොරු තොරතුරු සමාජගත කරලා විමර්ශන කටයුතු වලට බාධා කරමින් කටයුතු කරන විධියට කාදිනල්තුමා සොයන මහ මොලකරු ජූඩ් ප්‍රනාන්දු පියතුමා ද කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.