රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි මහතා කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙණෙවිය හමුවේ ඊයේ (03) දැනුම් දුන්නේ නීති විරෝධීව එක්ලස් කළා යැයි චෝදනා එල්ලවී ඇති V8 වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සුජීව සේනසිංහ මහතා අවස්ථා හයකදීම මඟහැර ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොල්ලුපිටියේ ඔහු පදිංචිව සිටින නිවෙසට අවස්ථා කිහිපයකදීම ගිය නමුත් නිවෙස ඉබි යතුරු දමා වසා තිබූ බවත් හෙතෙම අධිකරණයට දැනුම් දුන්නේය.
මන්ත්‍රීවරයා දිගින් දිගටම විමර්ශනයට සහාය නොදෙන්නේ නම් ඔහු සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගත හැකි බවද ඊයේ (03) කැඳවූ අවස්ථාවේදී හෙතෙම මේ බව කියා සිටියේය.
එහිදී සුජිව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කියා සිටියේ තම සේවාදායකයා මේ වන විට විදේශගත අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබන බවයි. එහෙයින් සති දෙකක කාලයකින් පසුව නඩුව කැඳවන ලෙස ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී රජයේ නීතීඥවරයා පැවසුවේ තමන්ට නඩුකරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවශ්‍ය බවය. ඊට විරෝධය පළ කළ ජනාධීපති නිතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කියා සිටියේ සේවා දායකයා විවෘත අධිකරණයේ නොමැති අවස්ථාවක කරුණූ දැක්වීම යුක්ති සහගත නොවන බවය. තමන්ට උපදෙස් ලබා ගැනිමට නොහැකි බැවින් සහ මේ වන විටත් නඩු පවරා ඇති බැවින් කළ යුතු වන්නේ චෝදනා පත්‍රය බාර දී වරදකරුද නිවැරදිකරුද යන්න විමසා සිටීම පමණක් බව ජනාධිපති නිතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
එම විරෝධතාවය නොසලකා රජයේ නීතිඥවරයාට කරුණූ දැක්වීමට අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරිය සැකකාර සුජීව සේනසිංහ යන අය ලබන 16 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් එදිනට වෛද්‍ය සහතික ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය. නඩුව ලබන 16 තෙක් කල් තැබිණි