අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මුවා වී පාසල් වැසීමේ ලෝක බැංකු යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ යැයි ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා සඳහන් කළේය.
මේ යටතේ වත්මන් ජනාධිපතිවරයා ඉගෙනගත් තඹුත්තේගම පාසල ද වැසී යෑමට නියමිත බවට තම පක්ෂය වෙත තොරතුරු ලැබී ඇතැයි ද හෙතෙම කීවේය.
අරගල සන්ධානය නුගේගොඩ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.
එහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා මෙසේ ද පැවසීය.
ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කරලා තියෙන්නේ ප්‍රසන්ටේෂන් එකක් විතරයි. නිශ්චිත වාර්තාවක් තවමත් නෑ. අපි දන්න විදිහට ලංකා ඉතිහාසේ පළවෙනි වතාවට තමයි ආණ්ඩුවක් ප්‍රසන්ටේෂන් එකක් උපයෝගී කරගෙන රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් යෝජනා කරන්නේ.
අපි දන්නවා පසුගිය කාලය පුරාවටම මේ රටේ ආණ්ඩු ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවන්ට අනුව මේ රටේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ කරන සූදානමක හිටියා. රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව කාලේ අධ්‍යාපන ඇමැතිවරයාව සිටි අකිල විරාජ් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට සූදානම් වුණා. ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් උපාලි සේදර වාර්තාව සහ කොතලාවල උපාධිකඩ පනත අරගෙන ආවා. එතනින් පස්සේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අධ්‍යාපන ධවල පත්‍රිකාව අරගෙන ආවා. මේ හැම වැඩපිළිවෙළකම තිබුණේ නව ලිබරල් වෙළඳපොළට අවශ්‍ය ශ්‍රමිකයෙක් නිර්මාණය කරගැනීම සහ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩකරණය කිරීමේ පහත් වුවමනාව. දැන් ඒ වැඩපිළිවෙළම තමයි වර්තමාන අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය අගමැතිනිය ගෝලීය සංකල්ප කියලා ලස්සන වචනයක් ඉස්සරහට දාලා අරගෙන ඇවිල්ලා තියෙන්නේ.
පාර්ලිමේන්තු කතාවෙදි අනුර දිසානායක ඉතාම කම්පාවෙන් කතා කළා ලංකාවේ ළමුන් ප්‍රමාණය අඩු පාසල් ගැන. ඔහු කිව්වේ ළමුන් 100ට අඩු පාසල් 3141ක් තියනවා කියලා. මේ සමහර පාසල් වහන්නත් ඇතැම් පාසල් ඒකාබද්ධ කරන්නත් අවශ්‍ය තැන්වල අලුතින් පාසල් ඇති කරන්නත් සූදානම් කියලා. බැලු බැල්මට කාටවත් මේ ප්‍රකාශයේ භයානකකම වැටහෙන්නේ නෑ. අනුර දිසානායකගේ පාර්ලිමේන්තු කතාවටම සමාන කතාවක් මීට පෙර කරුණාසේන කොඩිතුවක්කු විසින් කරලා තියනවා. ඔහු තමයි මුලින්ම ලංකාවේ පාසල් 3000ක් වහන යෝජනාව ගෙනාවේ. ඒ වෙලාවේ එම වැඩපිළිවෙළට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණත් සටන් කළා. එදා පාසල් ආරක්ෂා කරගන්න කියලා තමයි පාසල් සුරැකීමේ ව්‍යාපාරය නිර්මාණය වුණෙත්. අදටත් එහි සභාපති විදිහට ඉන්නේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වෙන මහින්ද ජයසිංහ. අපි කවදාවත් එහෙම කරයිද අපිව විශ්වාස නැද්ද වගේ බයිලා කියාගෙන දැන් ඒගොල්ලොම ලෑස්ති වෙනවා පාසල් වැසීමේ ලෝක බැංකු යෝජනාව ක්‍රියාත්මක කරන්න. දැන් ආණ්ඩුව කියන්නේ සමහර පාසල් වහලා අලුතින් පාසල් විවෘත කරනවලු. නමුත් අපි ආණ්ඩුවට කියනවා නව පාසල් විවෘත කිරීම සඳහා අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරලා තියෙන තැන පෙන්නන්න කියලා. ඒ නිසා අලුතින් පාසල් විවෘත කරන කතාව පට්ටපල් බොරුවක්. තියෙන පාසල් ටික වහලා දාන්න තමයි මේ සූදානම් වෙන්නේ.
අපිට තියෙන තොරතුරු අනුව ජනාධිපතිවරයා ඉගෙනගත් තඹුත්තේගම පාසල පවා මේ විදිහට වැහිලා යන්න නියමිතයි. ජනාධිපතිවරයා කියනවා අපි පාසල් වහලා වෙන පාසලකට යන්න නොමිලේ බස් එකක් දෙනවලු. දැන් ජනාධිපති හැසිරෙන්නේ ලොකු සල්ලිකාරයෙක් වගේ. මැතිවරණ වේදිකාවෙදිත් ඔය විදිහටම උද්ධච්ඡ ප්‍රකාශ කළා ඩොලර් බිලියන 50 කජ්ජක් ද ඇහුවා අපිට මතකයි. අඩුම තරමින් දරුවන්ගේ පාසල් උපකරණ මත පනවපු වැට් බද්ද ඉවත් නොකරන ආණ්ඩුවක් ගමේ දරුවන්ට නොමිලේ බස් එකක් දේවි කියලා විශ්වාස කරන්න පුළුවන් ද?
අද වෙද්දි අධ්‍යාපන ක්‍රමයේ පවතින බරපතළ ගැටලු ගණනාවක් තියනවා. ඒවට නිශ්චිත විසඳුමක් මේ නව ප්‍රතිසංස්කරණ ඇතුළේ දකින්න නෑ. කොළඹ පාසලක් සහ ග්‍රාමීය කඳුකරේ පාසලක් ගත්තම තියෙන්නේ අහසට පොළොව වගේ විෂමතාවයක්. පහසුකම් අතින් මානව සහ භෞතික සම්පත් අතින් පවතින මේ විෂමතාව නැති කරන්න අවශ්‍ය ප්‍රතිපත්තියකුයි ආණ්ඩුව සකස් කරන්න ඕන. නැතුව හිතුමනාපෙට පාසල් වහන්න ආණ්ඩුවට අයිතියක් නෑ.
ආණ්ඩුව තවමත් රටට හෙළි නොකළ මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මුළුමනින්ම ගැටලු සහගතයි. සමහර වෙලාවට ආණ්ඩුව කියනව තාම අවසන් වැඩපිළිවෙළක් නෑ ඒ නිසා සාකාච්ඡා කරමු කියලා. නමුත් අපිට තියෙන තොරතුරු අනුව මේ නව වෙනස්කම් එක්ක 2026 වසර සඳහා අද වෙද්දි පොත්පත් පවා මුද්‍රණය කරලා අවසන්. අනිත් එක තමයි ආණ්ඩුව ජනතාවගෙන් හංගන මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හදලා තියෙන්නෙ ව්‍යාපාරිකයෝ සහ ලෝක බැංකු නියෝජිතයෝ.
අනුරාධ හිරිපිටියගේ