ඊයේ (16) රාත්‍රී වැලිගම මන්ත්‍රී නීතීඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ද පෙරළා ඔවුන්ට වෙඩි තබා ඇතැයි වාර්තා වෙයි.
මන්ත්‍රී නීතීඥ තාරක නානායක්කාර මහතා පැවසූවේ තම දරුවන් මරන බවට කලින් වට්ස් ඇප් පණිවිඩයක් එවා තිබුණා වෙඩි තියන්න හේතුව නොදන්නා බවයි.
වැලිගම ප්‍රදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරයකු වන නීතීඥ තාරක නානායක්කාර මහතාගේ වැලිගම පොලිස් බල ප්‍රදේශයට අයත් තෙලිජ්ජවිල උඩුකාවේ පිහිටි නිවසට මොටර් සයිකලයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් මෙසේ වෙඩි තබා පලාගොස් තිබිනි.
මේ පිළිබඳව මාධ්‍යය වෙත අදහස් දැක්වූ නීතිඥ තාරක මහතා..
අද දින (07/16) අලුයම 4.39 ට විතර පට…පට.. ගා ශබ්දයක් ඇහුණා. එවිට මා මාගේ දරුවන් දෙදෙනා සමග උඩ තට්ටුවේ කාමරයක නිදාගෙන සිටියා. අනෙක් දරුවන් දෙන්නා බිරිඳ එක්කයි නිදා ගත්තේ. මේ වන විට මගේ ගෙදර ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා සිටියා.
ඔවුන්ට ශබ්දය පිළිබඳව දැනුම් දුන්නා. අපි කියනකං බිම දිගා වී ඉන්න… එළියට බහින්න එපා… ඔවුන් මට එසේ කිව්වා. ඒ නිසා මම එහෙම උන්නා. කවුරුන් කුමක් සඳහා මෙය සිදු කළා ද කියා වැටහීමක් නෑ.
මා මෙවර වැලිගම ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තරග කර උඩුකාව කොට්ඨාසය ජයග්‍රහණය කරලා මන්ත්‍රීවරයකු වශයෙන් පත් වුණා. මට පසුගිය මැයි විසි තුන්වනදා සහ ජුනි මස විසි තුන්වන දා නාදුනන පුද්ගලයකු වට්ස් ඇප් දුරකථන ඇමතුමක් දී මාගේ දරුවන් මරා දමන බවට තර්ජනයක් සිදුකර තිබුණා. ඒ අනුවයි මට පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණේ.
වැලිගම ප්‍රදේශීය සභා ජාතික ජන බලවේගය කණ්ඩායම් නායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ චින්තක හේවාපතිරණ මහතා මෙම සිද්ධිය ගැන අදහස් දක්වමින් පැවසුවේ වෙනම අදහසකි. ඔහු මෙසේ කීවේය.
“දැනට පිහිටුවීම ගැටලුවක් වී ඇති වැලිගම ප්‍රාදේශීය සභාව පිහිටුවීමට නියමිතව තිබූ දිනට පෙර දින දෙකකදී නන්නාඳුනන පුද්ගලයකු එල්ල කළ මරණීය තර්ජන පිළිබඳව අධිකරණයට කරුණු වාර්තාකර උසාවි නියෝගයක් මත ඔහුට පොලිස් ආරක්ෂාව දී තිබියදීත් මෙසේ වෙඩි තැබීම් සිදුවීම කනගාටුවට කරුණක්. මේ පහර දෙන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියටයි.”
මේ පිළිබඳව පරීක්ෂණ කටයුතුවලට සම්බන්ධ වී සිටි උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ උසාවි නියෝගයක් මත මාතර, අකුරැස්ස සහ මාලිම්බඩ පොලිසිවල නිලධාරීන් දිනකට දෙදෙනෙකු බැගින් මන්ත්‍රීවරයා වෙනුවෙන් විශේෂ රාජකාරියේ යොදවා ඇති බවයි.
උදෑසන හතරයි තිහට පමණ යතුරුපැදියකින් පැමිණ රිවෝල්වරයකින් නිවසේ ගේට්ටුවට වෙඩි පහක් තබා ඇති බවට සැක කෙරේ. එම අවස්ථාවේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරියකු පෙරලා සිය රාජකාරි පැති අවියවූ මිලිමීටර් නමයේ පිස්තෝලයෙන් වෙඩි නමයක් තබා ඇත. සැකකරුවන් පලා ගොස් ඇත.
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපති හා උප සභාපති තෝරා ගැනීමේ ඡන්දය ජුලි 24 වැනිදා දකුණු පළාත් කොමසාරිස් එරන්දි උමන්ගා මැන්ඩිස් මහත්මීයගේ මූලිකත්වයෙන් උදෑසන 10.00ට ආරම්භ වීමටද නියමිතය. සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන වැලිගම පොලිසිය මගින් සිදුකිරීමට නියමිතය.