හිටපු රාජ්‍ය ඇමැති දයා ගමගේ මහතාට අයත් සමාගම් තුනක් අද (02) දින ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට දී ඇති අධිකරණ නියෝගය වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස දයා සමූහ ව්‍යාපාරය කළ ඉල්ලීමක් සලකා නොබැලීමට කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ (01දා) තීරණය කළේය.
ඒ අනුව නියමිත පරිදි අද (02) උදෑසන 10.00ට දේපළ වෙන්දේසිය පවත් වන ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර මහත්මිය රෙජිස්ට්රාර්වරයාට සහ නියෝජ්‍ය පිස්කල්වරයාට නියෝග කළාය.
දයා ගමගේ මහතාට අයත් ආයතන තුනක් විසින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට ගෙවිය යුතු හිඟ රුපියල් ලක්ෂ 969ක මුදලක් අයකර ගැනීම සඳහා මෙම වෙන්දේසිය පැවැත්වේ.
දයා ගෲප් (ප්‍රයිවට්) ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමෙන් 2020 වසරේ ඔක්තෝබර් 20දා වන විට ලබා ගෙන ඇති සමස්ත ණය මුදලේ වටිනාකම දසකෝටි අසූතුන් ලක්ෂ නවදහස් තුන්සිය හතළිස් දෙකක (108,309,342)කි. ඉන් රුපියල් හැත්තෑතුන් ලක්ෂයක (73,00,000)ට ආසන්න මුදලක් ගෙවීම කර ඇත. ඉතිරිය මුදල අයකර ගැනීම සඳහා වෙන්දේසිය පැවැත්වේ.
වෙන්දේසියට දින නියමකර තිබියදි මහජන බැංකුව, ලංකා බැංකුව සහ කොමර්ෂල් බැංකුව යන අතරමැදි පාර්ශ්ව මෝසමක් මාර්ගයෙන් නඩුවට සම්බන්ධ වෙමින් වෙන්දේසියට නියමකර තිබුණු සමහර අයිතම ඉන් මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස පෙරේදා (30දා) ඉල්ලීමක් කළේය. එමෙන්ම දයා සමූහ ව්‍යාපාරය වෙන්දේසිය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කරන ලදි.
එම කරුණු සලකා බැලීම සඳහා ඊයේ (01දා) කැඳවන ලදි. එහිදී අතරමැදි පාර්ශ්ව කරුණු දක්වමින් දයා සමූහ ව්‍යාපාරය එම බැංකුවලට උකස්කර තිබුණු සමහර භාණ්ඩ වෙන්දේසියට නියමකර තිබුණු අයිතම අතර ඇති බව පෙන්වා දුන්නේය. ඒ අනුව වෙන්දේසියට නියමකර තිබුණු අයිතම 47ක් අතරින් මැදිහත් පාර්ශ්වකරුව හිමිකම් නොදක්වන වාහන 4ක් පමණක් වෙන්දේසි කිරීමට අධිකරණය නියෝග කළේය. එමෙන්ම මහජන බැංකුව හා කොමර්ෂල් බැංකුව සහ ලංකා බැංකුව ඍජුවම හිමිකම් දක්වන අයිතම 10ක් වෙන්දේසි කිරීම අත්හිටුවීමට අධිකරණය තීරණය කළේය. මේ සම්බන්ධයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම සහ දයා ගමගේ සමූහ ව්‍යාපාරය යන ආයතන දෙක එකඟතාව පළ කළේය.
ලංකා බැංකුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා කරුණු දක්වමින් දයා සමූහ ව්‍යාපාරය ලංකා බැංකුවට උකස්කර ඇති දේපළවල වටිනාකම අමෙරිකානු ඩොලර් 2,002,677.66ක් බව අධිකරණයට දන්වා සිටියේය.
ඉදිකිරීම් සඳහා භාවිත කරන ලද අබලි ද්‍රව්‍ය ටොන් 1000ක් ලෙස වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණු අයිතමයේ අඩංගු ද්‍රව්‍ය අතර දයා සමූහ ව්‍යාපාරය ලංකා බැංකුවට උකස්කර තිබෙන චංචල දේපළ සමහරක් තිබිය හැකි බවට එම බැංකුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා අධිකරණයට කරුණු දක්වා සිටියේය. ඒ අනුව අදාළ අයිතමයේ අඩංගු චංචල දේපළ වෙන්දේසි කිරීම අත්හිටු වීමට අධිකරණය තීරණය කළේය.
අබලි ද්‍රව්‍ය ලෙස නම් කර ඇති ටොන් 1000 අතර මැදිහත් පාර්ශ්ව හිමිකම් කියන ද්‍රව්‍ය තිබේදැයි අදාළ ආයතනය පිහිටි නො: 345/5, එදිරිසිංහ මාවත, පන්නිපිටිය ස්ථානයට ලබන ජූනි 14දා ගොස් හඳුනා ගැනීම කරන ලෙස අධිකරණය දන්වා සිටියේය.
හඳුනාගත් දේපළ හිමිකම් ලේඛන සමඟ ලබන ජූලි 28දා අධිකරණයට දන්වන ලෙස අධිකරණය අතමැදි පාර්ශ්වයන්ට නියෝග කළේය. ඉතිරි භාණ්ඩ වෙන්දේසි කිරීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශ කිරීමට නියමිතය. දයා සමූහ ව්‍යාපාරය කළ වෙන්දේසිය වළක්වන නියෝගය අධිකරණය සලකා නොබලන ලදි.
පීපල්ස් ලීසිං සමාගම වෙනුවෙන් නීතිඥ කීර්ති තිලකරත්න සහ නීතිඥ චානුක ඒකනායක මහත්වරු පෙනී සිටියහ. ලංකා බැංකුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක, මහජන බැංකුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ දයා ගමගේ සමූහ ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රියන්ත අලගියවන්න මහතා පෙනී සිටියහ.