උතුරු මැද පළාත් ආයුර්වේද රෝහලේ ඖෂධ හිඟයක් තිබියදී, හිටපු අධ්‍යක්ෂකවරිය නිත්‍යානුකූල නොවන ආකාරයට දේශපාලන අධිකාරියට හා ප්‍රදේශයේ ප්‍රභූන්ට හිතුමනාපේ ඖෂධ නිකුත් කර ඇතැයි එහි කාර්ය මණ්ඩලය චෝදනා කරයි. එම ලිඛිත සාක්ෂිවලට අනුව එවකට හිටපු රෝහල් අධ්‍යක්ෂකවරියක අවස්ථා කිහිපයකදීම උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාරවරකුට ඉතාමත්ම වටිනා යැයි කියන, අශ්වගන්ධාරිශ්‍ට තෛලය, මහා නාරායන තෛලය හා නිර්නිර්ගූන්ඩි තෛලය ඇතුළු තවත් ඖෂධ කිහිපයක් ලබාදීමට කටයුතු කර ඇති බවයි.
මේ අතරින්, අශ්වගන්ධාරිශ්‍ට තෛලය ලිංගික ආබාධ සහ ලිංගික බෙලහීනතාවය සඳහා ද ආලේපනයට යෝග්‍ය ඖෂධයක් බව පැවසේ.
ඇතැම් අවස්ථාවල පළාත් සභාවේ ස්ථාපනය කර ඇතැයි කියන ආයුර්වේද ඒකකයට එය ලබා දෙන ලෙසත්, තවත් අවස්ථාවක විහාරාධිපති හිමි නමකගේ නමට එම ඖෂධ ලබා දෙන ලෙසත් එම ලිපිවල සඳහන් වේ.
අනුරාධපුර පිහිටි පළාත් ආයුර්වේද රෝහලින් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන රෝගියකු වෙනුවෙන් එක් මාත්‍රාවක් හැටියට කියවෙන තෙල් අවුන්ස එකක් ලබාදීම වෛද්‍යවරයා තීරණය කළහොත්, එක් බෝතලයකින් රෝගීන් විසි හතර දෙනකුට එය ලබා දිය හැකියි.
එසේ තිබියදී, බෝතල් දෙක තුන ආණ්ඩුකාරවරයා රැගෙන යාමට ඉඩ සැලසීම රෝගීන්ට සිදු කළ බරපතළ වරදක් බව සේවකයන් අවධාරනය කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පළාත් අයුර්වේද රෝහලේ කොමසාරිස් වෛද්‍ය ප්‍රියානි මල්කාන්තී ගොඩගේ මහත්මියගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී මෙසේ පැවසුවාය.
දැනට මාස කිහිපයකට පෙර රෝහලට අධ්‍යක්ෂකවරයකු හා නියෝජ්‍ය කොමසාරිස්වරියක් පත්වුණා. එලෙස පත්වීම් ලැබෙන්න පෙර මම කොමසාරිස් ධූරයෙත්, නියෝජ්‍ය කොමසාරිස් ධුරයෙත්,අධ්‍යක්ෂක ධුරයෙත් සේවය කළා. එහිදී හිටපු ආණ්ඩුකාරතුමාට සම්බාහනය සඳහා තෙල් බෝතලයක් නිකුත් කළා. ඊට මාස කිහිපයකට පසුව තවත් තෙල් බෝතල් දෙකක් නිකුත් කරන්න ඇති.
මෙම සිද්ධිය පාදක කරගෙන පෙත්සමක් ගහලා තියෙනවා .ඒ ගැන අමාත්‍යාංශයෙන් ඇවිල්ලා පරීක්ෂා කළ බව දැන ගැනීමට ලැබුණා.
මහීපාල හේරත් මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඉකුත් ආණ්ඩු සමයේදී කටයුතු කළේය.
මූලාශ්‍රය – ලංකාදීප