“මට දැන් අවුරුද්දක් තිස්සේ ගහනවා, බහිනවා, බරවැඩ දෙනවා, වැඩ කරන ගෙදර අය කාලා කුණු කූඩෙට දාන ඉතිරි ඒවා තමයි මම මාස කීපයක් කන්නේ, මාව කළුවර කාමරයකට දාලා, හිර කරගෙන දස වද දෙනවා… මාස කීපයක් පඩි දුන්නෙත් නැහැ, මාව මරාගන්න ඉස්සර ලංකාවට ගෙන්නා ගන්න…”
ජීවිතය බේරා දෙන ලෙස මෙසේ හඬා වැටෙන්නී සෞදි අරාබියේ රැකියාවට ගිය ගෘහ සේවිකාවකි. දිඹුලාගල වෙහෙරගම අංක 248 ලිපිනයේ ඇය ජී.පී ධම්මිකා පද්ම කුමාරි ය.
ධම්මිකා 51 වියැති එක්දරු මවකි. ඇය 2024 ජුලි 03 වෙන දින සෞදි රටේ ගෘහ සේවයට ගොස් ඇත්තේ එකම දියණියට ඉගැන්වීම් කටයුතු කිරීමට සහ ස්ථිර නිවසක් ඉදිකර ගැනීම සඳහා කීයක් හෝ ඉතිරි කරගැනීමටය.
කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් මගින් සවුදි රටේ ගෘහ සේවයට ගිය තම මව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නම් රුපියල් ලක්ෂ හත හමාරක් විදේශ රැකියා ආයතනයෙන් ඉල්ලා සිටින බවත්, එවැනි මුදලක් උපයා ගැනීමට කුලී වැඩ කරන පියාටත්, තමන්ටත් නොහැකි බවත් ධම්මිකා පද්මකුමාරිගේ දියණිය කුමුදුනි තාරුකා ගමගේ සඳහන් කළාය.
තම පියා මේ පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ජුලි හත් වෙනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්, එවිට ඒජන්සිය හරහා ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසට ඔවුන් උපදෙස් ලබාදුන් බවද තාරුකා ගමගේ කීවාය.
තම මවට නිවැසියන් පහරදී මවගේ ජීවිතයට කරදරයක් වීමට පෙර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට, අවශ්‍ය කටයුතු කරදෙන ලෙස තමා විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් මෙන්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද කුමුදුනි හඬා වැළපෙමින් පැවසුවාය.
” මට ඒජන්සියකිනුත් ගහලා වෙනත් ගෙදරකට දැම්මා. දැන් ඒ ගෙදර අය කළුවර කාමරේක දාලා මට හිරිහැර කරනවා. කන්න බොන්න දෙන්නෙ නැහැ. ගෙදර අය කාලා කුණුකූඩෙට දාන ඉතිරි ඒවා තමයි මම දැන් මාස කීපයක් තිස්සේ කන්නේ. දුවට උගන්නා ගන්නයි, ස්ථීර ගෙයක් හදාගන්නයි, කියලා තමයි මම ගෘහ සේවයට ආවේ. නමුත් මේ ගෙදර මිනිස්සු මට දසවද දෙනවා, මාව මරාගන්න ඉස්සර ලංකාවට ගෙන්වා ගන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මම දැන් ගොඩක් අමාරුවෙන් ඉන්නේ. සෞදියේ කළුවර කාමරයක සිරකරගෙන සිටින ජී.පී ධම්මිකා පද්ම කුමාරි තමන්ට මුහුණ දීමට සිදුව ඇති තත්ත්වය පිළිබඳව දුරකථනයෙන් කීවාය.
මෙම කාන්තාව සෞදි රටේ ගෘහ සේවයට යැවීමට මැදිහත් වූ කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික විදේශ රැකියා ආයතනයෙන් අප දුරකථනයෙන් කළ විමසීමකදී ආයතනය වෙනුවෙන් කතා කළ පුද්ගලයා සඳහන් කළේ ඇය ගෙන්වා ගැනීමට රුපියල් ලක්ෂ හතහමාරක් සූදානම් කරගන්නා ලෙසත්, එසේ නොමැතිව තම ඒජන්සියට කතා නොකරන ලෙසත්ය.
- lankasara