රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද (14) නියෝග කළේය. ඒ දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම ඇප නියෝගය නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන්නේ ඇපකරුවන් දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් විය යුතු බවය. එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවටත් සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීය යුතු බවටත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.
හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක දුමින්ද දිසානායක කොළඹ 05 සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක සිටියදී අත් අඩංගුවට පත් වනුනේ පසුගිය මැයි මස 23 උදෑසන. ඒ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් සම්බන්ධව සිදුවන විමර්ශනයකට අදාලවය. එදා සිට අද දක්වා සති 06කට ආසන්න කාලයක් ඔහු සිටියේ රක්ෂිත බන්ධනාගාරගතවය.
පසුගිය මැයි මස 20 වැනිදා හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයෙන් කාන්තාවක් සන්තකයේ තිබී මෙම රන් ආලේපිත ගිනි අවිය සොයා ගැනුණි. මෙම කාන්තාවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ප්‍රහාරක රයිෆලයේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය විසින් සිදු කරන ලද විමර්ශනයේ සිදුවූ අනාවරණයන් මත පදනම්ව දුමින්ද දිසානායක අත් අඩංගුවට පත් වූයේය.
අත් අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනාගෙන් ගිනි අවිය සන්තකව තබා ගත් කාන්තාව ප්‍රකාශ කර තිබුණේ එය මාස කීපයකට පෙර දුමින්ද දිසානායක විසින් ප්‍රවේශම් කර තබා ගැනීම සඳහා තමන් වෙත එවා තිබුණ බවය.
අද අධිකරණය හමුයේ යළිත් තර්ක කළ දුමින්ද දිසානායකගේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ සැකකරුට එරෙහිව නඩු පැවරීමට නම් ඔහු සන්තකයේ ගිනිඅවියක් තිබි අත්අඩංගුවට පත්ව තිබිය යුතු බවය. එහෙත් මෙම සිද්ධියේදී සැකකරු සන්තකයේ ගිනිඅවියක් නොතිබූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට කරුණු දක්වා සිටියේය.
ඒ අනුව මෙම අවස්ථාවේදී ඉදිරිපත් වී තිබෙන සාක්ෂි මත සැකකරුට එරෙහිව නඩු නිමිත්තක් පවත්වාගෙන යාමට නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම ඇප නියෝගය නිකුත් කළේය.