හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ සිංහරාජ වනාන්තරය හරහා මාර්ගයක් ඉදි කිරීම නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය (20) දින අවසර ලබාදුන්නේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලිකව එම ස්ථානයට ගොස් හමුදාවත් සමග සිංහරාජ වනාන්තරය හරහා පාරක් ඉදි කිරීමට කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ නීතීඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ සඳහන් කළේ,
“මේ සිංහරාජය හරහා පාරවල් කැපීම විතරක් නමේ, ගහක පොත්තක්වත් කපන්න බෑ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මීට අවුරුදු පහකට විතර ඉස්සර පෞද්ගලිකව එම ස්ථානයට ගිහිල්ලා, හමුදාවත් එක්ක එකතුවෙලා, මැදිහත්වෙලා ඒ ජාතික උරුම වන සිංහරාජ වනාන්තරය හරහා පාරක් ඉදි කිරීමට කටයුතු කරා.
තියෙන පාරවල් පලල් කරා. මේ ක්‍රියාව වැරදියි. අනීතික ක්‍රියාවක්. මේ ක්‍රියාවට සම්බන්ධ සියලුම දෙනාට නීතිය අනුව දඬුවම් ලබාදීම සඳහා සියලුම පාර්ශවයන් පියවර ගත යුතුයි.”
මේ අතර ශ්‍රී ලංකාවේ පවතින විශාලතම ප්‍රාථමික වර්ෂා වනාන්තරය සිංහරාජ ලෝක උරුම වන වැස්මයි. එහි උතුරු ප්‍රදේශයේ කළු ගඟේ පෝෂක ශාඛා ද දකුණු ප්‍රදේශයේ ගිං ගඟේ පෝෂක ප්‍රදේශ ද පිහිටා තිබේ. සිංහරාජ වනාන්තරය රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සහ දකුණු, සබරගමු පළාත් පාලන ප්‍රදේශයන් ආශ්‍රිතව පිහිටා ඇත.
සිංහරාජය තුළ ශ්‍රී ලංකාවට අවේනික ‘ඒක දේශීය ශාක’ විශාල සංඛ්‍යාවක් ඇත. වනය තුළ දැවමය ශාක විශේෂ 340ක් පමණ හමුවන අතර ඉන් 192ක්ම ශ්‍රී ලංකාවට අවේනික බව නිල වාර්තාවල සඳහන් වන අතර සිංහරාජය අද්විතීය ශාක විවිධත්වයකට හිමිකම් කියනවා සේම විශාල සත්ත්ව ගහනයක ද නිජභූමිය වෙයි.
ශ්‍රී ලංකාවේ පවතින විශාලතම පහතරට තෙත් කලාපීය වනාන්තරය සිංහරාජය වන අතර එය ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.2%ක් වේ. පර්යේෂණ, අධ්‍යාපනික සහ සංචාරක කටයුතු සඳහා සිංහරාජ වනාන්තරයේ පවතින මාර්ග කිහිපයක් යොදා ගනු ලැබෙයි.